hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 15, පෙ.ව. 12:02



2024 අප්‍රේල් මාසයේ 8 වැනිදා මීන රාශියේ රේවතී නැකැතේ තුන්වන පාදයේදී පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවෙයි. මීන රාශිය ජල රාශියක් වන බැවින් 2024 වර්ෂය තුළත් වර්ෂාව හේතුවෙන් ජල ගැලීම්, කඳු නාය යෑම් වැනි ව්‍යසන සිදු වනු ඇත. 2024 මැයි මාසය අවසානයේ සිට ජුනි මාසය දක්වා තද වැසි, ගංවතුර ආපදා විශාල වශයෙන් සිදු වීමට ඉඩ ඇති බව පෙන්වා දිය හැකිය.

මෙම 2024 නව වසර උදාවන්නේ කුජට හිමි වෘශ්චික ලග්නයේ සිකුරු හිමි තුලා නවාංශකයේ ආරම්භයේ වන අතර කුජට අයත් මුවසිරස නැකැතින් වසර ආරම්භ වීම මෙම වර්ෂය තුළ කැලඹිලි, පීඩා, අර්බුද මතභේද ඇතිවන කාලයක පටන් ගැනීමක් වනු ඇත. අවිනිශ්චිත තත්ත්වයන් උදාවීමත්, මහජනතාවට මුහුණ දීමට සිදුවන්නේ බිය සැක සංකා මූලික කරගත් කාලයක වන බැවිනුත් ලෙඩ රෝග, වසංගත උවදුරු, සොර සතුරු මංකොල්ලකෑම් සාහසික අපරාධ, කපා කොටා ගැනීම්ද සිදුවෙනවා ඇත.

ජල කැලඹිලි සෑම ප්‍රදේශයකම ඇති වෙයි. වැව් අමුණු උතුරා පිටාර ගැලීම් සමඟ නොසිතන අන්දමේ සිදුවීම් මාලාවක් පෙළ ගැසෙන අතර ජන කැලඹිලි උග්‍ර අතට පත්වනු ඇත. බල කැලඹිලි තව තවත් වැඩි වීමක් පෙන්නුම් කෙරේ. ජල කැලඹිලි ඊටත් වඩා ඉහළින් සිදුවන අතර දේශපාලන කරළිය උණුසුම් වීමද මහජන නියෝජිතයන්ට අමුතු සිදුවීවලට මුහුණ දීමට සිදුවීම, ජනතා ආදරයට කාලයක් පාත්‍ර වී සිටි ඉහළ ප්‍රභූ නායකයකුගේ අභාවයක් සිදුවීම, කලා සංගීත අංශයේ ජනප්‍රියව ඉදිරියට ගිය අයකුගේ හදිසි වියෝවක්ද සිදු වීමට නියමිත බව පෙනී යනු ඇත.

කුම්භ ලග්නය ලංකා කේන්දර ලග්නය වීමත් සෙනසුරු කුම්භ ලග්නයේ ගෝචර වීම ලග්න ඒරාෂ්ටක අපල ලෙස හැඳින්වෙයි. මෙම ග්‍රහ බලපෑම නොසිතන, නොපෙනෙන සිදුවීම් මාලාවකට හේතුවෙයි. රාහු ග්‍රහයා 2023 ඔක්තෝබර් 30 මීන රාශියට ගමන් කෙරේ. වසර 18කට පසුවයි. 2005 -03-25 රාහු මීනයටත් කේතු කන්‍යාවටත් පිවිසුණු අතර නැවත ඉදිරියේදී රාහු කේතු රාශි මාරුවක් සිදුවන්නට ඉඩ ඇත්තේ 2042-06-06 දිනයේදීය. රාහු කේතු රාශි චක්‍රය වටා ආපසු රවුමක් යෑමට වසර 18 මාස 7 දින 13ක් ගත වෙයි. ඒ අනුව 2025 මැයි මස 18 තෙක් රාහු මීන රාශිය තුළ ගමන් ගන්නවා ඇත.

මීන රාශිය තුළ ගමන් කරන කාලය තුළ රාහු සුබ තත්ත්වයක් නොපෙන්වා සිටීම, අර්බුදකාරී තත්ත්වයන් උලුප්පා පෙන්වීම, හිස අවුල් සහගත තත්ත්වයට පත් වීම හේතුවෙන් රටට, ජනතාවට, ජන නායකකාරකාදීන්ට, බලවතුන්ට තදින් බලපාන්නක් වෙයි.

ලබන්නා වූ 2024 වර්ෂය යහපත් සෞභාග්‍යවත් සුබ නව වසරක් කරගැනීම සඳහා සැවොම එක් සිත්ව ආගම ධර්මයට මුල් තැන දී සාධාරණව දැහැමිව කටයුතු කරන්නේ නම් අයහපත් තත්ත්වයන් සමනය කර ගැනීමට හැකි වනු ඇත.

2024 නව වසරේ නව නායකත්වයක් ගොඩනැඟීම ඇරඹෙයි. 2025 මාර්තුවලින් පසු සාමාන්‍ය සුබවාදී පරිසරයක් හැඩ ගැසීමක් පංච මහා බලවේග ඒකරාශි වීමට ඉඩ ඇති බවත් ග්‍රහ චාරය මත පෙනී යයි. දැනට බලය ඇති යම් දේශපාලන නායකයන්ට ඒරාෂ්ටක අපල ඇතිව කාලය ගතවීම පෙන්නුම් කෙරේ. ධනය, බලය ශක්තිය මත නොව ගුණ ධර්ම සහ සොබා දහම මත සියල්ල සිදුවනු ඇත.

2024 නව වසරේ මුල්ම කෝණ මාසය මේ වන විට ආරම්භ වී ඇත.

2023 දෙසැම්බර් මස 16 වැනිදා සිට 2024 ජනවාරි 15 වැනිදා තෙක් රවි ග්‍රහයා ධනු රාශි ගතව සිටින අතර එය මෙම අවුරුද්දේ මුල්ම කෝණ මාසය වනු ඇත. ලැබුවා වූ 2024 සැමදෙනාටම සාමයෙන් සතුටින් පිරි සෞභාග්‍යවත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.

උපුටා ගැනීමකි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: