hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:33



පහුගිය දවස්වල මුළු සෝෂල් මීඩියාවලම ලොකුවට කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ප්‍රවීණ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ අතිශය ජනප්‍රිය “ඇස යොමන තැනක” ගීතයට ආපු හදිසි වාරණය. 

ගීතයේ පද රචිකාව වන රෙයාශිනි ශාක්‍යා මුණසිංහ මහත්මිය නීතිඥවරයෙක් හරහා එන්තරවාසියක් එවමින් කියලා තිබුණේ, මේ ගීතය ආයෙත් වේදිකාවේ කිව්වොත් රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දියක් අය කරනවා කියලයි. මේ කතාවත් එක්කම අජිත් තීරණය කළා ගීතයේ සම්පූර්ණ අයිතිය ඒ පාර්ශ්වයටම පවරලා දීලා, මින් ඉදිරියට කිසිම ප්‍රසංගයක ඒ ගීතය නොකියන්න.

හැබැයි මේ ප්‍රශ්නෙදි අජිත් මුතුකුමාරණ සද්ද නැතුව නිකන්ම පැත්තකට වුණේ නැහැ. ඔහු මේකට ක්‍රියාවෙන්ම දුන්නු අපූරු උත්තරේ තමයි දැන් මුළු රටේම ආදරේ දිනාගෙන තියෙන්නේ. අජිත් කළේ මීට අවුරුදු 30කට කලින් ජෝර්ජ් සේනානායක මහතා නිර්මාණය කරපු ඒ පරණ තනුවම අරගෙන, ඒකට අලුත්ම පද පේළියක් දාලා අලුත් සින්දුවක් එළියට දාපු එකයි. අංජනා මුතුකුමාරණගේ පද රචනයෙන් හැඩවුණු මේ අලුත් ගීතයේ නම සිත හඬන රෑයක.

“ප්‍රශ්නෙට උත්තරේ දෙන්නෙ මෙහෙමයි” කියලා අජිත් මේ අලුත් සින්දුව තමන්ගේ මුහුණු පොතටත් එකතු කරලා තිබුණා. කලාව හුදෙක් වාණිජ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා විනාශ කරනවාට වඩා, මේ වගේ නිර්මාණාත්මක සහ බුද්ධිමත් පිළිතුරක් දුන්නු එක ගැන හැමෝම අජිත්ට ප්‍රශංසා කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පූර්ණ බුද්ධිමය හිමිකාරිත්වය යටතේ තියෙන “රහසක් කියයි ඇය”, “විලාසිනියේ”, “හැඬුවා නුඹ”, “පෙර දින සිත බැඳුනා”, සහ “සීත උදේ” වගේ ජනප්‍රිය ගීත කිසිම කර්තෘභාගයක් අය කරන්නේ නැතුව ඕනෑම සංගීත කණ්ඩායමකට හෝ ප්‍රසංගයකට ගායනා කරන්නත් ඔහු විවෘතවම අවසර දීලා තියෙනවා.

අහිමි වුණු ප්‍රේමයක වේදනාව ගැන කියවෙන මේ අලුත් ගීතයේ පද පේළි ටිකත් ඇත්තටම අර පරණ තනුවටම අපූරුවට ගැළපිලා තියෙනවා:
“සිත හඬන රෑයක මා නෙතු නවතින්නේ ඔබ ළඟයි
ඉකිබිඳින වෙලේ හැමතැනකම මැවුනේ ඔය රුවයි
හද තැවෙන වෙලේ සැනසුම මට වුනේ ඔබ තමයි
හැරගියේ ඇයිද තවමත් මම නොදනිමි සත්තයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: