hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:00



“මං මේ උඹේන් අහන්නමයි හිටියේ.උඹ දැන් මාස ගානකින් ගෙදර ගියෙ නෑ නේද ? වෙනදට මාසෙකට සැරයක් හරි උඹ ගෙදර යනවනේ. දැන් උඹට කෙල්ල හින්දා ගෙවල් දොරවල් අමතක වෙලාද?”එහෙම ඇහුවේ දුමින්ද…

දුමින්ද කියන්නෙ මේනකගේ බෝඩිමේ මේනකත් එක්ක ඉන්න යාලුවා.කවුරු වුනත් බෝඩිමේ එකට ඉන්නකොට කිසිම දෙයක් හංගන්න බෑනේ.දුමින්ද මේනකගෙයි හංසිගෙයි සම්බන්ධෙ ගැන මුල ඉඳන්ම ඔක්කොම දැනගෙන හිටිය නිසයි එහෙම කිව්වෙ….

“ම්ම් යන්නත් ඕනා බං.මේ මාසේ අන්තිමට නිවාඩු දාලා යනවා.දවස් 4කින් ආයේ එනවා”මේනක දුමින්දගේ ප්‍රශ්න වැලෙන් බේරෙන්න කියල හිතාගෙන එහෙම කිව්වා.එහෙම කිව්වත් දුමින්දගේ ප්‍රශ්න ඇහිල්ල නතරවෙන්නේ නැති පාටයි..

“දැන් ගෙදර ගිහින් හංසි ගැන අම්මලාට කියනවාද? අම්මා නම් උඩින්ම කැමතිවෙයි.ඒ ළමයා ලස්සයිනේ.අනික කැම්පස් එකේමනේ.ඉගෙනගත්තු ළමයෙක්නේ.”දුමින්ද ඇහුවේ මේනකටත් කහට කෝප්පෙකුත් ගෙනල්ල ලඟින් තියන ගමන්….

“පිස්සුද බං,ඕවා දැන්ම කියන්න බෑ,හංසි කියන්නෙත් ගෙවල් වලට මේ ගැන කියන්න හදිසි වෙන්න ඕනා නෑ කියලා,අනික ඒ ළමයත් තවම හරියට මට ආදරේයි කියලත් නෑනෙ.”මේනක කහට උගුරක් බොන ගමන් දුමින්ද දිහා බලල එහෙම කිව්වා…

“මොකක්ද බං ඒකෙ තේරුම? ආදරේ නැත්තං ඒ කෙල්ල උඹත් එක්ක ඔහොම කතා කරයිද? මට නම් තේරෙන්නෑ උඹලා දෙන්නවම”දුම්න්ද කුතුහලයෙන් එහෙම කිව්වේ මේනක ඒකට දෙන උත්තරේ අහගන්න බලාගෙන…

“එයා කියන්නෙ එයා කැම්පස් out වෙනකන් ඉන්න කියලා,ඊට පස්සෙ එයාලගේ ගෙදරින් ඇවිල්ලා අහන්නලු,ඒ හින්දා තව ටික කාලයක් ඔහොම ඉන්නවා බං”මේනක කිව්වා…

“ඒ කෙල්ල out වෙන්න තව අවුරුදු 2ක් තියනවා කියලා ඔලුවෙ තියාගනින්,ඒ වුණාට උඹ දැන් ගෙදර ගිහින් ඉද්දී හංසි එක්ක කෝල් කරද්දී අම්මා අහයිනේ බං”දුමින්ද එහෙම කියනවත් එක්ක එකපාරටම මෙනකට ඒක කල්පනාවට අවා….

ගෙදර ගියාම එහෙම වෙයිද කියලා..”ම්ම්.. ඒක නම් එහෙම තමයි හැබැයි”මේනක කල්පනා කරමින් දුමින්ද දිහා බැලුවා…

මේනක කාලෙකින් ගෙදර ගිහින් තිබුනෙ නෑ. දුමින්ද මතක් කරාට පස්සෙ මෙිනක හිතුවා මේ මාසේ හරි ගෙදර ගිහින් එනවා කියලා.දැන් මේක සංසිටත් කියන්න වෙනවනේ මේනක හන්සිටත් ඒක කියන්න කල්පනා කළා…

“නංගී,මං ගෙදර යනවා සිකුරාදා.දවස් 4කින් ආයෙ එන්නෙ”මේනක හංසිට කිව්වේ හංසි මොනවා කියයිද කියල දැන ගන්නත් එක්ක
“ම්ම්..පාලු හිතෙයි මට,දවස් 4ක් නේ,කමක් නෑ ඔයා ගිහින් එන්න අම්මලත් බලන් ඇතිනේ,හැබැයි ගිහින් එද්දී හිස් අතින් නම් එන්න එපා.”හංසි මේනකගේ හිත හදල එහෙම කිව්වා….

සිකුරාදා වැඩ ඇරිලා හවස 6 කෝච්චියේ මේනක ගෙදර යන්න පිටත් වුනා…

හංසිට ලංවුනාට පස්සෙ මේනක මේ ගෙදර යන්නෙ පලවෙනි වතාවට…

කෑමබීම ටිකකුත් අරගෙන ගෙදර යන්න මේනක මරදානෙන් කෝච්චියට නැග්ගා.

“අයියේ ගෙදර යද්දී කීයවෙයිද?”හංසි ඇහුවා…

“9 ⁣විතර වෙයි නංගී,කෝච්චියෙන් බැහැලත් යන්න එපැයි”මේනක කිව්වා..

“හා පරිස්සමට යන්න,ගිහින් කෝල් එකක් දෙන්න”හංසි ආදරණිය විදිහට මේනකට එහෙම කිව්වා… කිව්ව වෙලාවටම ගෙදරට ගොඩවෙද්දී “මොකද ගෙවල් දොරවල් මතක් වුනේ” මේනකගේ අම්මා මේනකගේ අතේ තිබුණු බෑග්ස් ටිකත් අතට ගන්න ගමන් ඇහුවෙ එහෙම….මේනකටත් අම්ම එහෙම ඇහුවම මහ මොකක්ද වගේ..අම්මල එහෙම තමයි තමන්ගේ දරුවෝ ගෙදරින් ඈත් වෙනවට කැමති නෑනේ..මේනක තේරුම් ගත්තා..

“ඇඟපත හෝදාගෙන ඇවිත් කාලා නිදාගන්න,මහන්සිත් ඇතිනෙ,දැන් කවද්ද ආයේ යන්නෙ ?”ගෙදර ආපු එකටත් වැඩිය අම්මට ඕන මේනක කවදද යන්නේ කියල දැනගන්න..

“ආයේ යන්නෙ බදාදා,දවස 4ක්ම ඉන්නවා”මේනක කාමරේ ඉඳන් අම්මට කිව්වා..

“දැන් ඔය තරම් ජොබ් එක හිතට අල්ලලාද? කැම්පස් ඉද්දී නම් සතියකට සැරයක් ගෙදර ආවා,දැන් එන්නෙ මාසෙකට සැරයක්”අම්මටත් මේනකගේ පොඩි වෙනසක් තේරිලා වගේ..මේනකට එහෙම සැකයකුත් ආවා..අම්මලට ළමයිගේ පොඩි වෙනසත් තේරෙනවා..

“එහෙම තමයි අම්මෙ ඉතිං,මේක ජොබ් එකක්නේ,හිතෙන හිතෙන විදියට නිවාඩු ගන්න බෑනෙ කැම්පස් ඉද්දී වගේ,ජොබ් එකත් හොඳයි,වැඩටික හොඳට කරගෙන යනවා,හෙට කතා කරමුකෝ,දවසම තියනවනේ,අම්මත් දැන් නිදාගන්න,මාත් කාලා නිදාගන්නවා”මේනක එහෙම කියන ගමන් කාමරේ ලයිට් එක නිවලා ෆෝන් එක අතට ගත්තා..

ඇස් තවම ආදරෙන්

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි අටවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ නවවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: