hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 12:32



කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නිරාවිය, පොතානේගම, පහළ ගිරිබාව යන ලිපිනයේ මහ වන මැද කටුමැටි ගැසූ කුඩා නිවසක වයස අවුරුදු 14 ක් 05ක් සහ 07ක් යන වයස්වල දරුවන්ට තිදෙනෙකු තනියම ජීවත් වන පුවතක්  වාර්තා වෙනවා.

මෙම දරුවන් තිදෙනාගේ මව ඊ .පි. වාසනා ප්‍රනාන්දු මීට මාස කිහිපයකට ඉහතදී නිවස තනා ගැනීම සඳහා කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇති බව දරුවන් පවසනවා.

එහෙත් ඇයට මෙතෙක් රැකියා අවස්ථාවක් නොලැබී රැකියා නියෝජිත ආයතනයේ කාමරයක සිටින බව එම දරුවෝ වැඩි දුරටත් කියා සිටිනවා.

මෙම දරුවන්ගේ පියා ප්‍රදේශයේ ඇතිවූ ආරවුලක පැවැති නඩුවක තීන්දුව අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වී මේ වන විට වැලිකඩ සිරගෙදර සිරබත් කන බව ඔවුන් වේදනාවෙන් යුතුව පැවසුවා.

මව රැකියාවක් නොමැතිව කුවේට් රාජ්‍යයේ නිවසක සිරවී සිටින නිසා වයස අවුරුදු දාහතරක් වූ ධනංජය සඳමාල් විජේසිරි පුතා කොහුබත් වේලන ආයතනයක සේවයට ගොස් ලැබෙන මුදලින් තම වයස අවුරුදු  05ක් වූ නිසාල් සාහිල් මල්ලිත් වයස අවුරුදු 07ක් වූ සිතුමි විහංගා නැගණියත් ජීවත් කරවන බව පවසනවා.

නිවසේ අගහිඟකම් පැවතීම නිසා මේ වන විටත් දරුවන්ගේ අධ්‍යාපනයට කණ කොකා හඬා තිබෙනවා.

ගේ පුරා මේ දිනවල වැස්සට තෙමෙන අතර වැස්ස නිසා කොහු බත් වීයළීමේ රස්සාවද මෙම දරුවාට අහිමි වී ආහාර අර්බුදයකට මෙම දරුවන් තිදෙනා පත්ව සිටිනවා.

නිවෙස ආසන්නයේ පදිංචි වී සිටින ඥාතීන්ගේ සහයෝගය නිසා වේලක් හැර වේලක් තියෙන දෙයකින් කුස පුරවා ගැනීමට ඔවුන්ට සිදුවී තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ විදේශ රැකියාවකට පිටව ගිය මෙම දරුවන්ගේ මව වාසනා ප්‍රනාන්දු වට්ස්ඇප් හරහා සම්බන්ධ කරගෙන අප ඇයගෙන් කරුණු විමසුවා.

ඇය  කියා  සිටියේ තමන් කුරුණෑගල ප්‍රදේශීයේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකින් කුවේට්  රාජ්‍යයට ගොස් මාස කිහිපයක් ගතවන බවත් තමන්ට ලබා දෙන බව කියූ නිවසේ හිමිකරුවන් තමන්ව ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව නැවත රැකියාවක් සොයා දෙන තුරු කුවේට් රාජ්‍යයේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක කාමරයක දමා සිටින බව ඇය සඳහන් කරන්නට වුණා.

මෙම ස්ථානයේ තවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් කාමර දෙකක සිර වී සිටින බවද ඇය වැඩිදුරටත් අප සමග සඳහන් කළා.

එහි රැඳී සිටි ලංකාවේ තවත් කාන්තාවක් ද එම අවස්ථාව  ප්‍රයෝජනයට ගෙන ඇයට සිදුවී ඇති දේ ද හෙළිදරව් කරන්නට වූණා.

තම දරුවන් පාසල් ගමන ද අහිමි වී කුසගින්නේ තනිවම මහා  වන මැද වන අලින් ගෙන් බේරී ජීවත්වන නිසා කුමන හෝ ක්‍රමයකට තමන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි ඇය හැඬූ කඳුළින් පැවසුවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: