hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:06



දිනය පසුගිය 04 වැනිදායි.

එදින උදේ වරුවේ තරුණයන් දෙදෙනෙක් ගම්පහ මූලික රෝහලට ඇතුළු කරන ලද ළාබාල දැරියක් පසුව ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට ගෙන එන්නේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ නිසාය.

හෙද කාර්ය මණ්ඩලය රෝගී දැරිය පිළිබඳව යුහුසුලු වෙද්දී පසෙකට වූ තරුණයන් දෙදෙනා සිටියේ වික්ෂිප්තවයි.

ඔවුන් රෝගියා ගැන කිසිවක් හෙළි කෙළේ නැත. එ‍මෙන්ම රෝගියාගේ විස්තර සෙවීමට වඩා රෝහල් කාර්ය මණ්ඩලය රෝගී දැරියගේ තත්ත්වය ගැන බැලීමට පියවර ගත්තේ ජීවිතයක වටිනාකම හොඳින් තේරුම් ගත් නිසායි.

ගම්පහ රෝහලට මෙලෙස ඇතුළත් කරන ලද දැරිය ජීවිතක්ෂයට පත්වන්නේ සුළු මොහොතකට පසුවයි. මේ බව කන වැකුණු සැණින් තරුණයින් දෙදෙනා ආගිය අතක් නැති වූවා.

රෝගියා ඇතුළු කළ තරුණයන් දෙදෙනාගේ විස්තර විමසන්නට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලු වූයේ ඉන් අනතුරුවය. ඒ වන විට ඔවුන් ප්‍රමාදය. දැරියගේ සිරුර පුරා තැළීම් හා සීරීම් තුවාල දක්නට තිබිණි.

තරුණයන් දෙදෙනකු විසින් ගම්පහ රෝහලට ඇතුළත් කරන ලද දැරියක් මිය ගොස් ඇතැයි ද රෝගියා ගෙනා දෙදෙනා පලා ගොස් ඇති බවද ගම්පහ රෝහල් පොලිසියට පැමිණිලි ‍ෙකරුණේ ඉන් අනතුරුවයි.

ඒ අනුව ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. රෝගී දැරිය රෝහලට ගෙනවිත් ඇත්තේ මෝටර් රියකින් බවට කරුණු අනාවරණය කර ගන්නට පොලිසියට හැකි වුණා. එහෙත් දැරිය ගෙනා තරුණයන් ගැන හෝඩුවාවක් පොලිසියට ලැබුණේ නැත. ලද තොරතුරු මත දැරිය රෝහලට ගෙන ගිය මෝටර් රිය සොයා ගන්නට පොලිසියට හැකි වුණේ ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදීයි.

වේයන්ගොඩ කටුවස්ගොඩ පෙදෙසේ පදිංචි මවකට මේ අතර දුරකතන පණිවිඩයක් ලැබිණි. එයින් කියවුණේ ඇගේ දියණිය ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

දියණියගේ පෙම්වතා විසින් මේ පණිවිඩය දුන් බව පසුව හෙළි වී තිබිණි. මවුපියන් රෝහලට යාමත් සමඟ සියල්ල හෙළි වූවා.

මෙලෙස මියගිය දැරිය පහළොස් වියේ පසු වූ ඉලන්දාරි පේඩිගේ නදිෂි ප්‍රියංගනී තත්සරණි බවට හඳුනා ගැනිණි.

මේ දැරිය 13 වැනි වියේ පසු වෙද්දී පෙම් සබඳතාවක පැටළි ඇති බවත් 2021 වසරේදී ඇය සිය පෙම්වතා සමඟ පලා ගොස් ඔහුගේ බෙම්මුල්ල නිවසේ සිටියදී එම වසරේ ජූලි 10 වැනිදා පොලිසියෙන් සොයා ගත් බවත් අනාවරණය වූවා.

එසේ පොලිස් භාරයට පත්වූ දැරිය පරිවාස භාරයේ රඳවා තබන්නට අත්තනගල්ල අධිකරණය නියෝග කර ඇති බවත් තරුණයා සහ ඔහුගේ මව රක්ෂිත භාරයට පත් කර ඇති බවද මෙහිදී හෙළි වුණා.

පරිවාස භාරයේ පසු වූ දැරිය පසුගිය ජනවාරියේදී එම ස්ථානයෙන් පලා ගොස් පෙම්වතා සමඟ නැවත පවුල් කෑමට පටන් ගෙන ඇතත් ඇගේ මරණය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වන තුරුත් ඇගේ පලා යෑම ගැන කිසිම බලධාරියෙක් හෝ ඥාතියකු පොලිසියට පැමිණිලි කර නැති බවද හෙළි වූ බව පොලිසිය කියයි. දැරිය පරිවාස මධ්‍යස්ථානයෙන් පලා ගියාද නැතහොත් පෙම්වතා විසින් කැඳවාගෙන ආවාද යන්න මෙතෙක් හෙළි වී නැත.

මෙසේ ඒ පිළිබඳව එකින් එක තොරතුරු හෙළිවෙද්දී දැරිය සමඟ පවුල් කෑ පෙම්වතා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. දැරිය සමඟ කලක් තිස්සේ පවුල් කෑ මෙම සැකකරු යක්කල බෙම්මුල්ල බුලන්ගොඩ පදිංචිකරුවකු වන 27 හැවිරිදි මනෝජ් ප්‍රියංකර හෙවත් සංජු නැමැත්තෙක්.

පරිවාසයෙන් පන්නා ගෙන ආ දැරිය සමඟ මෙම සැකකරු ඔහුගේ මහ ගෙදරට නුදුරු නිවසක පවුල් කා ඇත. එසේ කල් ගත කරන අතර දෙදෙනා නිතර රණ්ඩු සරුවල් කරගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.

දැරිය වෙනත් පුද්ගලයකු සමඟ සබඳතාවක් පවත්වන බවට පෙම්වතා සැක කිරීම නිසා මේ ආරවුල් ඇති වී ඇතැයිද නිතර ඇය පෙම්වතාගේ පහර කෑමට ලක්ව ඇති බවද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මේ අන්දමට දෙදෙනා පසුගිය 03 වැනිදා රාත්‍රියේ ද රණ්ඩු වී තිබිණි.

ඒ අවස්ථාවේදී සිදු වූ පහරදීම් නිසා ඇය සිහිසුන්ව සිටියදී පෙම්වතා, ඔහුගේ මිතුරෙකු සමඟ එක්ව ඇය රෝහල් ගත කර ඇති බවද හෙළි කරගත් බව පොලිසිය සඳහන් කරයි.

මූලික පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අධිකරණ නියෝග මත දැරියගේ දේහය ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිගේ පරීක්ෂණයට යොමු කරවනු ලැබුවා.

අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.එම්.සී. බී. ගුණතිලක දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කර ලබා දුන් වාර්තාව අනුව දැරියගේ මරණයට හේතුවී ඇත්තේ ඇගේ මොළයට සහ පෙණහලුවලට සිදු වූ හානි බව තීරණය කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

එමෙන්ම දැරියගේ සිරුරේ පෙර සිදු වූ පහරදීම් සලකුණු දක්නට තිබූ බවද පොලිසිය සඳහන් කළා.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව දැරියගේ දේහය ඥාතීන්ට බාර කෙරුණු අතර සැකකාර පෙම්වතා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රසන්න රණවක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

බාල වයස්කාර දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයේ අපහරණය කිරිමේ චෝදනාවට ලක්ව සිටින පෙම්වතා මේ වනවිට එම දැරියගේ මරණයට වගකිවයුත්තා ලෙසට චෝදනා ලබා සිටී.

අධිකරණ නියෝග අනුව පරිවාස භාරයට පත් කෙරුණු බාල වයස්කාර දැරිය එම ස්ථානයෙන් පලා ගොස් මාස දහයක් ගතවෙන තුරුත් කිසිම බලධාරියෙකුට ‍නොදැන්වීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතාගේ මවුපියන්ද පසුගියදා පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලුම් රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. ජේ. බණ්ඩාර ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: