hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:03



ස්වාමි පුරුෂයා භාර්යාවට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබෙනවා.

දෙදෙනා විවාහ වුණේ වසර කිහිපයක්ම පෙම් බැඳීමෙන් අනතුරුවය.

බොහෝ සැමියන් මෙන් මේ සැමියාද තරුණ භාර්යාවට දැක්වූයේ අසීමිත ආදරයකි. හිටි හැටියේ අනපේක්ෂිතව ආ කොරෝනා මේ දෙදෙනාගේ අනාගත සැලසුම් වතුරේ පාකර හැරියා. ඒ සැමියා කළ රැකියාව ඔහුට අහිමිවීමත් සමගමය.

කොරෝනාවට තම අනාගත සැලසුම් ලෙහෙසියෙන් කපා හැරීමට ඉඩක් දීමට මැලිවූ සැමියා විදෙස් ගතවීමට තීරණය කළේ මේ අල්ලපනල්ලේය. ඊට ඔහුට තිබූ එකම බාධකය වූයේ තරුණ භාර්යාව තනිකර දමා යාමය.

කෙසේ වෙතත් ඊට සිත දැඩිකර ගත් ඔහු සිය භාර්යාවගේ සුවඳ නින්දේදී විඳ ගැනීම සඳහා ඇය දිය නෑමට ගත් දිය රෙද්ද රට රැගෙන යාමට ද අමතක නොකළා.

රට ගිය ඔහු සිය සයනයේ මොනතරම් හොඳ ඇඳ ඇතිරිලි තිබුණද ඊට උඩින් දමා ගත්තේ සිය භාර්යාවගේ දිය රෙද්දය.
රට ගිය ඔහු දින කිහිපයක කෙටි නිවාඩුවට මෙරටට එන්නේ සිය භාර්යාව දැක ගැනීමට ඇතිවූ නොතිත් ආශාව නිසාය. ඔහු රට සිට මෙරටට එන්නේ භාර්යාවද දැනුවත් කරමිනි.

ඔහු රට සිට ගෙදරට එනවිට තරුණ භාර්යාව වාශ්ප වෙලාය. අම්ම තාත්තා ඒබව දැන්වූවිට ඔහු හඬා වැටුනේ ගමන් මල්ලෙන් එළියට ගත් දිය රෙද්දක් ද පෙන්න පෙන්නා අනේ මට එයා නිතරම සිහිවෙන්න ඕනෑ නිසා මම මේ දිය රෙද්දත් අරන් ගියා යයි කියමිනි.

එය දුටු බාල මහලු‍ අය රට සිට සැමියා එනවිට හොර රහසේ වෙන අයෙකු සමග හොරෙන් පැන ගිය ඇයට දෙස්දෙවොල් තිබ්බේ අනේ කොච්චර හොඳ සැමියෙක්ද ඔහුගේ ආදරයේ තරම දිය රෙද්දෙන් පෙනෙනවා යයි කියමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: