hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:00



වේදිකාව මත දිග හැරෙන වචන මගේ හදවත පසාරු කරගෙන යන්නට විය. මගේ ඇස් මුලට කඳුළු කැට පිරෙන්නට විය. මුහුණේ මාංශ පේෂීන් තද කරගෙන කඳුළු නවතාගන්නට ද හැඬුම් මැඩලන්නටද මට සිදු විය.

එක් වරම මා සිටියේ, වවුනියාවේ මහ රෝහලේ නාරිවේද වාට්ටුවේ ය. ළමා වාට්ටුවෙන් අප වෙත එවා තිබුනේ මවක් ළදරුවෙක් සහ අවුරුදු පහක පමණ දැරිවියක් ය.

ඇඳ ඉහ පතෙහි ලියා තිබුණු දේ දැක, මා වික්ෂිප්තව ඔවුන් දෙස බැලීමි, මව ළදරුවා තුරුළුකරගෙන කඳුළු පුරවාගෙන මා දෙස බලා සිටී. ඒ කුඩා දැරිවිය මව අසල එහෙ මෙහෙ දුවමින් හිඳී. මේ කතාව, එවකට විසි හත් හැවිරිදි මා සසල කළේ කෙසේද යත්, දින ගණනක් මට ඒ බිහිසුණු සිතුවිලි මනසෙන් ඉවත්කරන්නට නොහැකි විය. මා එක්වරම ඔසවා පොළොවේ ගැසුවාක් මෙන් විය.

“මම මේ බබා ලැබෙන්න රෝහල් ගත වෙලා හිටියේ, එතකොට තමයි මෙයාගේ තාත්තා මෙයාට මෙහෙම කරලා තියෙන්නේ” ඒ මව හැඬුම් අතරින් කියයි. ඒ දැරිවිය ගේ වයස අවුරුදු පහකි.

දරුවාට අප කියන දෙයක් හෝ අප අහන දෙයක් තේරුනේ නැත. ඇය ඇගේ ලිංගේන්ද්‍රිය පරීක්ෂා කර බලන්න කිසිවෙකුට අවසර දුන්නේද නැත. වේදනාව සමනය කරන්න බෙහෙත් දාන්න ඕනෑ යැයි මව විසින් ඇවිටිලි කර කියා අවසානයේ ඇය ඩොක්ටර් ඇන්ටී කෙනෙකුට පමණක් බලන්න දෙන්නම් කියා එකඟ කරගත්තෙමු. අප විශේෂඥ වෛද්‍යවරයා වෙත ඇය යොමු කළ විට, “මේ පොඩි කිරි සප්පයගෙන් මොනවා බලාපොරොත්තු වෙනවද ඒ මිනිහා. මනස විකෘති වෙච්ච තිරිසනෙක් වෙන්න ඕනේ.” විශේෂඥ වෛද්‍යවරයා තරහින් , ඉංග්‍රීසි බසින් බැන වදිමින් කුඩා දැරිය පරික්ෂා කළේ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මතය ඉල්ලා සිටි නිසා ය. ඇයට මේ දේ කළ ඇගේම තාත්තා පොලිස් අත්අඩංගුවේය. මව අලුත උපන් බිළිඳා, සහ මේ පස් හැවිරිදි දැරිය ළමා වාට්ටුවේ නවතා ඇත.

කෙතරම් ආරක්ෂිත නිවසක වුණත් , යන එන හිතවත් නෑයින් මිත්‍රයින් අතින් අපචාරයට, ලිංගික හිංසනයට ලක්වන දරුවන් දැරිවියන් කොතෙකුත් දැයි මගේ හිත විස්සෝප වේ.

වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මෙන්න මේ දේ යැයි නීති රීති අප වෙත සකස් කර ඇත. එහෙත් අප මේ දරුවන් ඉන් පසු බාරදෙන, ළමා ආරක්ෂක අධිකාරිය මේ දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු කාර්යය භාරය විශාලය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: