hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 12:05



බිලිඳු කලලයක් විනාශ කිරීම හෙවත් ‘ගබ්සාව‘ මෙරට නීතිය අනුව අපරාධයකි. එසේත් නැත්නම් මනුෂ්‍ය ඝාතනයකි. එහෙත් ඇතැමුන් ගබ්සාවට අනුබල දෙන්නේ නැතිනම් එවැනි අපරාධ සිදු කරන්නේ අමනුෂ්‍යයන් විලසිනි. එවැනි ළාබාල යුවතියකට සිදු කරන ලද ගබ්සාවක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් ගෙවුණු සතියේ වාර්තා වූයේ මාතර පොලිස් කොට්ඨාසයෙනි.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර පොලිස් වසමට අයත් හුලංදාව ප්‍රදේශයේ හෝටලයකදී පස් මස් බිලිඳු කලලයක් ළාබාල යුවතියකගේ ගර්භාෂයෙන් එළියට ගෙන දෙයියන්දර නිවෙසක ඉඩමක වළ දමා තිබියදී පසුගිය 17 වැනිදා මාතර කොට්ඨාස ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නිලධාරින් විසින් දෙයියන්දර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී එම ස්ථානයේ කැණීම් කෙරිණි. වයස අවුරුදු 21ක යුවතියකගේ ගර්භාෂයෙන් එම පස් මස් බිලිඳු කලලය ඉවත් කිරීමේ අපරාධය සිදු කොට තිබුණේ 2022 වසරේ පෙබරවාරි මස 07 වැනිදා රාත්‍රියේය.

එලෙස වළ දමා තිබූ එම කලලය සොයා ගනිමින් ඊට සම්බන්ධ තරුණියගේ අනියම් සැමියා සහ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයකු සහ හුලංදාව හෝටලයේ කළමනාකරුවාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත ඇතුළු කණ්ඩායම ඉකුත් 13 වැනිදා අදාළ යුවතිය සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයෙන් අනතුරුවය.

මේ අපරාධය සිදු කළ පුද්ගලයන් දින පහකදී අත්අඩංගුවට ගෙන එම අපරාධයේ සුලමුල මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශ නිලධාරින් විසින් අනාවරණය කරගත් ආකාරය පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

21 හැවිරිදි මේ යුවතිය සිය බාප්පා සමඟ ඉකුත් 13 වැනිදා දෙනියායේ සිට මාතරට පැමිණෙන්නේ මාතර පොලිස් අධිකාරි කාර්යාලයේ ස්ථාපිත මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත හමු වී පැමිණිල්ලක් කිරීමටය. ඔවුන් තමන්ට සිදු වූ අපරාධයට සාධාරණයක් බලාපොරොත්තුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව හමුවට පැමිණියේ ඇය මෙවැනි විමර්ශන සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ නමක් දිනාගෙන සිටින දක්ෂ නිලධාරිනියක්ද වන හෙයිනි.

“මැඩම්… මට මේ අපරාධය වුණේ හරියටම ගිය අවුරුද්දේ පෙබරවාරි 07 වැනිදා රෑ… පිටබැද්දර හෝටලයකදී… එදා මට හෝටලයේ කාමරයකදී දොස්තර කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් විද්දා… ඒ දොස්තර එක්කගෙන ආවේ මගේ පෙම්වතා… පහුවදා පාන්දර 4.45 වෙද්දී මාස පහක් වුණ මගේ බඩේ හිටිය පැටියා එළියට අරගත්තා… එදා දරුවගේ පෙකණිවැල කැපුවේ මගේ බඩට ඒ දරුවා දුන්න මගේ පෙම්වතා… පස්සෙ එයා ඒ බිලිඳු කලලේ ෂොපින් බෑග් එකක දාගෙන අරන් ගියා… ටික දවසකට පස්සෙ තමයි මං දැනගත්තේ ඒ කළලය මගේ පෙම්වතා එයාගේ නීත්‍යනුකූල නෝනා එක්ක පදිංචි වෙලා ඉන්න මාවරලේ ගෙදර මිදුලේ වළ දාලා කියලා… ඒක අදටත් එතැනම තියෙනවා කියලයි ආරංචිය… මැඩම්… මට කළ මේ අපරාධයට සාධාරණයක් කරන්න…“

ලැබුණු එම පැමිණිල්ල පිළිබඳව මාතර කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා දැනුම්වත් කිරීමත් සමඟ ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායම ක්ෂණිකව ක්‍රියාත්මක වූයේ එම යුවතියගේ බිලිඳු කලලය විනාශ කිරීමේ ප්‍රධාන සැකකරු වන ඇගේ පෙම්වතා සොයා ගැනීමටය. ඒ අනුව එම යුවතිය කී තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ ළමා සහ කාන්තා කාර්යාංශ නිලධාරි කණ්ඩායම යුවතියගේ අනියම් සැමියා වන 38 හැවිරිදි සෙනරත් චමින්ද යාපා අත්අඩංගුවට ගත්තේ මාකඳුරේ තේ කර්මාන්ත ශාලාවක රියැදුරු රැකියාවේ නිරත වෙමින් සිටියදීය. ඒ අදාළ යුවතිය පැමිණිල්ල කළ 13 වැනිදා දින රාත්‍රියේමය.

“ඇත්ත කියනවා… අපි සේරම දැනගෙනයි ආවේ… තමුන් මේ කලලය වළ දැම්මේ කොහේද…?“ පොලිස් නිලධාරින් චමින්දගෙන් ප්‍රශ්න කෙළේ එලෙසය. එහෙත් ඔහු මුලදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙන්නට අදිමදි කළේය. අනතුරුව තමාට පොලිසියෙන් ගැලවීමක් නොමැති වග තේරුම් යෑමත් සමඟ ඔහු එදා සිදු කළ එම අපරාධය පිළිගත් ඔහු කලලය වළ දැමු ස්ථානය ගැන පාපෝච්චාරණය කළේ පොලිස් නිලධාරින් විස්මයෙන් බලා සිටියදීය.

දරුවන් තිදෙනකුගේ පියකු වන චමින්ද බිරිය සහ දරුවන් සමඟ පදිචිව සිටින මාවරලේ, ගොමිල, ඇහැලකන්දවත්තේ නිවෙස ඉදිරිපිට මිදුලේ ස්ථානයක කලලය වළ දමා ඇති බව පොලිසියට කීවේ පොලිසියෙන් ඔහුට බේරිල්ලක් නොමැති වග දැනගෙනය.

කලලය වළ දැමූ ස්ථානය අනාවරණය කරගැනීමත් සමඟ විමර්ශන නිලධරයෝ 13 වැනිදා මධ්‍යම රාත්‍රියේම එම ස්ථානයට පැමිණියෝය. අනතුරුව ඒ පිළිබඳව අදාළ පොලිසිය වන මාවරල පොලිසිය සහ දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කරන්නට මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශ විමර්ශන නිලධරයෝ කටයුතු කළහ. ඒ අනුව එම කලලය ගොඩගන්නා තෙක් එම ස්ථානයට මාවරල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් විසින් සිය නිලධාරින් යොදවා පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු යොදා තිබිණි. පසුව චමින්දගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු තම ළාබාල පෙම්වතියට එම අපරාධය සිදු කළේ පිටබැද්දර, හුලංදාව හෝටලයක් ඇතුළතදී රුපියල් පනස්දහසක් ගෙවා වෛද්‍යවරයෙක්ද හෝටලයට ගෙන්වා ගැනීමෙන් අනතුරු බවටද හෙළි කළේය.

ඊට අමතරව බිලිඳා පෙකණිවැලෙන් වෙන් කළේ තමාම බවටද කීවේය. අත්අඩංගුවට පත් චමින්ද අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

චමින්දගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙන්ම යුවතිය හෙළි කළ තොරතුරු ඔස්සේ මෙකී අපරාධයේ සුලමුල අනාවරණය වන්නේ මෙලෙසිනි.

මීට වසර පහ, හයකට පමණ පෙරදී චමින්ද ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස සේවය කළේය. ඒ දෙණියායේ අදාළ යුවතියගේ ගම් ප්‍රදේශයේය. යුවතියද ත්‍රිරෝද රථයේ පාසල් ගියා. ඇගේ මවුපියෝද ආබාධිත. ඇය වයස අවුරුදු 15ක දැරිය සමයේ ත්‍රිරෝද රථයේ රියැදුරු චමින්ද සමඟ ප්‍රේම සබඳතාවක් ඇතිකර ගත්තාය. එය දුරදිග ගියේ දෙදෙනාටම නොදැනීය. ඉන් සිදු වූයේ චමින්ද අතින් දැරිය දූෂණය වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස දැරිය ඇයට වයස අවුරුදු 16දී දරුවකු බිහි කළාය. එලෙස බාල වයස්කාර දැරියක දූෂණය කරමින් දරුවකු බිහි කිරීම නිසා 2019 වසරේ මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මඟින් චමින්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔහු බන්ධනාගාරගත කෙරිණි. අනතුරුව ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරිණි. නඩුව පවතිද්දී චමින්ද ඇප මත බන්ධනාගාරයෙන් මුදා හැරීමෙන් පසු නිවෙසට පැමිණියේය. දැරිය බිහි කළ බිලිඳා ගාල්ලේ ළමා නිවාසයකට භාර කරන්නට අධිකරණය නියෝග කරද්දී දැරිය දෙණියායේ සිටින ඇගේ ආච්චි අම්මාගේ භාරයට පත් කළේ මවුපියන්ද ආබාධිත තත්ත්වයේ පසු වූ බැවිනි.

කලක් ගත විය. බන්ධනාගාරයෙන් මුදා හැරීමෙන් පසු නිවෙසට පැමිණි චමින්ද නැවත දැරිය සොයා පැමිණියේය. අනතුරුව ඔහු පැවැති අධිකරණ ක්‍රියාවලියෙන්ද බේරීමේ කූට උපායක් ලෙස වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු දැරිය විවාහ කරගන්නා බවට පොරොන්දුවක් දී දෙණියායේ ආච්චිගේ භාරයෙන් ඇයව රැගෙන ගොස් තිබුණේය. එසේ දැරිය රැගෙන ආ චමින්ද ඇය දෙයියන්දර නිවෙසක නතර කළේය.

“අනේ මැඩම් මං ඒ ගෙදර ඉද්දි පෝන් එකකින් කෝල් එකක්වත් ගන්න දන්නේ නෑ… චමින්ද මාව කසාද බඳිනවයි කියලා කිවුවා… අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ… ඒක නිසා මං එයාව විශ්වාස කරගෙන ඒ ගෙදරම හිටියා…“ යුවතිය පොලිස් නිලධාරින් ඉදිරියේ අතීතය ආවර්ජනය කළේ එසේය.

චමින්ද එම නිවෙසේ දැරිය නතරකොට දොර වසා යන්නෙ ‘යාබද නිවැසියන්ට‘ ‘මම කසාද බැඳපු කෙනාට වැඩිය මුකුත් තේරෙන්නෙ නෑ… චුට්ටක් බලාගන්න…‘ යැයි ඔවුනට බොරුවක් කියමිනි. ඇය එලෙස දිවි ගෙවා තිබුණේ කුඩා කාමරයක් වැනි නිවෙසක ‘සිර අඩස්සියක‘ වැනි දිවියක් ගත කරමිනි. එම කාමරයේ දැරිය වසර දෙකයි මාස හතක කාලයක් ගත කළාය. ඇය එම නිවෙසේ කාලය ගත කරද්දී චමින්ද අතින් ඇය නැවත ගැබ් ගත්තේය. ඒ 2021 වසරේදීය. ඇය ගැබිනියක් වුවත් ඒ බව අවට වැසියන්ගෙන්ද වසන්කොට කිසිම සායනයකට නොයවා තබා ගැනීමට චමින්ද සූක්ෂ්ම විය. ඒ වන විට චමින්ද විවාහක තිදරු පියෙක් බවද ඇය දැන සිට නැත.

යුවතිය පස් මස් ගැබිනියක් වෙද්දී චමින්ද වහසි බස් කියා කෙසේ හෝ ඇගේ සිය පස් මස් බිලිඳු කලලය විනාශ කරවා ගැනීමට කැමැති කරවාගෙන තිබුණේ ඇයට තර්ජන-ගර්ජනද කරමිනි. ඒ අනුව බිලිඳු කලලය විනාශ කිරීමට චමින්ද සොයාගෙන තිබුණේ මොරවක ප්‍රදේශයේ වයෝවෘද්ධ වෙද මහතෙකි. එම වෙද මහතා මාර්ගයෙන් වෛද්‍යවරයෙක් යැයි කී පුද්ගලයෙක් සොයා ගැනිණි. එම වෛද්‍යවරයා ඇමැතීමත් සමඟ ඔහු ඒ සඳහා රුපියල් පනස්දහසක් අවැසි බවත් ඊට ස්ථානයක්ද නම් කරන ලදි. ඒ පිටබැද්දර, හුලංදාව ප්‍රදේශයේ හෝටලයකි. දෙයියන්දර කාමරයේ සිටි ඇය ත්‍රිරෝද රථයක නංවාගෙන එම හෝටලයට චමින්ද විසින් රැගෙන ගොස් තිබුණේ මිතුරෙක් මාර්ගයෙන් වෛද්‍යවරයෙක් ඒ සඳහා සොයා ගත් බව කියමිනි. එසේ ඇය රැගෙන ගියේ 2022 වසරේ පෙබරවාරි මස 07 වැනිදා සවස් යාමයේය.

එදින රාත්‍රියේ හෝටලයේ කාමරයක් තුළදී අදාළ වෛද්‍යවරයා ඇයට එන්නතක් දී ඇත. ඒ සමඟ පසුදා එනම් අට වැනිදා අලුයම 4.45ට පමණ ඇය පස් මස් බිලිඳු කලලය මෙලොවට බිහි කළාය. ඒ සඳහා එම වෛද්‍යවරයා යැයි කී පුද්ගලයා ඇගේ ගර්භාෂය තුළට කිසියම් කූරක් යවා තමනට වධ දුන් බවද ඇය පොලිසියට හෙළි කළාය. ඇය පොලිසියට කියා තිබුණේ එසේ මෙලොවට බිහි කළ බිලිඳා ඒ වන විටද පණපිටින් සිටි බවයි. එහෙත් චමින්දගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා ඇත්තේ එම බිලිඳාට පණ නොතිබූ බවයි. අනතුරුව එම බිලිඳු කලලය කළු පැහැති බෑගයක දමාගත් චමින්ද එය රැගෙන ගොස් වළ දමා ඇත්තේ ඔහු ඒ වන විට විවාහක බිරිය සහ දරුවන් තිදෙනා සමඟ පදිංචිව සිටි මාවරලේ නිවෙසේ මිදුලේ ස්ථානයකය. චමින්ද එම බිලිඳු කලලය එම නිවෙසේ වළ දමන සමයේදී ඔහුගේ බිරිය සහ දරුවන් එම නිවෙසෙන් ගොස් සිටියේ චමින්ද සමඟ පැවැති කිසියම් ආරවුලක් නිසාය.

එලෙස බිලඳු කලලය විනාශ කළ චමින්ද නැවත පෙම්වතිය රැගෙන ගොස් නතර කළේ දෙයියන්දර අදාළ නිවෙසේ කාමරයේය. එහි කල්ගත කරන අතරේ ඇය නිතර චමින්දට බල කළේ තමන් විවාහ කරගන්නා ලෙසටය. එහෙත් කල්ගත වෙද්දී ඇයට දැනගන්නට ලැබෙන්නේ චමින්ද දරුවන්ද සිටින විවාහක සේම තමාට වඩා බොහෝ සේ වයස්ගත අයකු බවයි. ඒ සමඟම ඇය චමින්ද මෙන්ම ඔහුගේ නීත්‍යනුකූල බිරිය සමඟද ආරවුල් ඇතිකර ගත්තාය. පසුව එම ආරවුල් දිග්ගැස්සෙද්දී හරිහැටි මඟතොටද නොදන්නා ඇය දෙණියායේ සිටින තම පුංචි අම්මා දැනුම්වත් කරන්නේ තමාට අත්වී තිබෙන ශෝචනීය ඉරණම ගැන පවසා හඬා වැටෙමිනි.

“අනේ පුංචි… ආයෙත් මේ මිනිහා මාව අමාරුවේ දැම්මානේ… ඒකා බැඳපු එකෙක්. මම දැන් දෙයියන්දර තැනක හිර කරගෙන තියාගෙන ඉන්නේ… අනේ කොහොමහරි ඇවිත් මාව මේ අපායෙන් අරන් යන්න…“ ඇය පුංචි අම්මාට එසේ කීවේ හඬා වැලපෙමිනි.

කලලය විනාශ කිරීමෙන් පසුවද වසරකට ආසන්න කාලයක් එම නිවෙසේ වධ හිංසාවලට ලක් වෙමින් බලෙන් මෙන් රඳවා සිටි ඇය පසුගිය දිනෙක පුංචි අම්මා සහ බාප්පා පැමිණ නැවත දෙණියායට කැඳවාගෙන යන ලදි. අනතුරුව ඒ පිළිබඳව අදාළ පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගියද පසුව පිරිස තීන්දු කළේ සාධාරණ විමර්ශනයක් සඳහා මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණීමටය. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායම සිදු කළ පුළුල් විමර්ශනයෙන් මේ යුවතියට මෙන්ම ඇගේ පස් මස් බිලිඳු කලලයට සිදු කළ අපරාධයේ ඛේදනීය කතාව කරළියට පැමිණියේය.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේම කලලය වළ දැමූ ස්ථානය සොයා ගැනීමත් සමඟ එම නිවෙසේ වෙසෙන චමින්දගේ විවාහක බිරිය ඇතුළු පිරිස පොලිසියට පැවැසුවේ ස්ථානයේ පසුගිය දිනෙක චමින්ද විසින් කැණීමක් සිදු කර එන්නත් කටු වැනි යම් යම් දේ ඉවත්කර ගත් බවය. එසේම චමින්ද එදින තම දරුවකු එම ස්ථානයේ වළ දමා ඇතැයි උපහාසයෙන් මෙන් පැවැසූ බවත් එම නිවැසියෝ හෙළි කළහ.

විමර්ශනයේදී හෙළි වූයේ මේ යුවතිය රඳවා සිටි නිවෙසෙන් පලා ගිය පසු ඇය සියල්ල පොලිසියට හෙළි කරතැයි බියෙන් චමින්ද එම කැණීම සිදුකොට එම ස්ථානයේ තිබූ දෑ ඉවත්කරගන්නට ඇති බවටයි. ඉකුත් 13 වැනිදා චමින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු විමර්ශන නිලධාරින් උත්සුක වූයේ මේ යුවතියට එම අපරාධය සිදු කළ හෝටලය සොයා ගැනීමටය. ඒ වන විට යුවතියට අදාළ හෝටලයේ හැඩරුව සහ වර්ණ මතකයේ තිබුණද එය කුමන ස්ථානයක පිහිටා තිබේද යන්න නිශ්චිත දැනීමක් නොවූවාය. චමින්දගෙන් ප්‍රශ්න කළද ඔහුද එම ස්ථානය හරිහැටි හෙළිකරන්නට දැන සිටියේ නැත.

පසුව යුවතියද රැගෙන දින ගණනාවක් විමර්ශන කණ්ඩායම් දෙණියාය, මොරවක, පිටබැද්දර, දෙයියන්දර, මාවරල ආදි ප්‍රදේශවල සැරිසරන්නට වූයේ ඇයට මතකයේ තිබෙන එම ස්ථානය සොයා ගැනීමටයි.

ඒ අනුව මේ යුවතිය හෙළි කළ කරුණු අනුව එම ප්‍රදේශවල හෝටල් කිහිපයක් පරීක්ෂා කරද්දී අදාළ හෝටලය සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය. එය පිටබැද්දර, හුලංදාව ප්‍රදේශයේ පිහිටි හෝටලයකි. එම හෝටලයේ අදාළ කාමරයේ වර්ණද යුවතියට මතකයේ තිබිණි. ඇයට එම අපරාධය කිරීම සඳහා යොදා ගත් කාමරය ඇය විමර්ශන කණ්ඩායමට පෙන්වූවාය. එම කාමරය හෝටලයේ කළමනාකරුගේ කාමරයට ආසන්නයේම පිහිටි එකකි. ඒ අනුව යුවතියට අපරාධය සිදු කර තිබුණේ හෝටලයේ කළමනාකරුගේද අනුදැනුම මත හෙයින් 30 හැවිරිදි හෝටල් කළමනාකරුද අත්අඩංගුවට ගැනිණි. ඔහු පොලිසියට කීවේ, එදින සේවාදායකයන්ට තමන් ලබා දුන්නේ එක් කාමරයක් බවයි. එය සනාථ කිරීමට ඔහු හෝටලයට එන යන අයගේ විස්තර සටහන් කරගන්නා පොතද පොලිසියට පෙන්වීය. එහි සඳහන් වූයේ එදින එක් කාමරයක් පමණක් අමුත්තන්ට දී ඇති බවයි. එහෙත් ඔහුගේ දින පොතක සටහන් කර තිබුණේ හෝටලයේ තිබෙන කාමර සියල්ලම එදින සේවාදායකයන්ට ලබා දී ඇති බවය. එසේම යුවතියට එම අපරාධය සිදු කළ කාමරයේ දී තිබුණේ ඉතා වැඩි මිලකට බවත් එහි සඳහන් වී තිබිණි. ඉන් මනාව හෙළි වූයේ කළමනාකරුගේද අනුදැනුම මත එම කාමරය අපරාධයකට උපයෝගී කර ගැනීම සඳහා දී ඇති බවය. හෝටල් හිමිකරුගෙන්ද ප්‍රශ්න කරද්දී ඔහු මේ පිළිබඳ කිසිවක් නොදන්නා බව පොලිසියට කීවේය.

අනතුරුව හෝටල් කළමනාකරුද අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු විමර්ශන කණ්ඩායම මේ යුවතියට මෙම අපරාධය සිදු කළ වෛද්‍යවරයා සොයා ගැනීමට ‘දැලක්‘ එළීය. එහිදී හෙළි වූයේ වෛද්‍යවරයා එම අපරාධයට සම්බන්ධ කර තිබුණේ ආයුර්වේද වෙදැදුරෙක් බවයි. ඔහු සිටින තැන නිශ්චිත ලෙස යුවතියට මතකයේ නොතිබිණි. කෙසේ හෝ එම ‘වෙදැදුරා‘ මොරවක ප්‍රදේශයේ බව ඇය පොලිසියට කීවේය. ඒ අනුව පොලිස් නිලධාරින් ඇය මොරවක ප්‍රදේශයේ වෙද මහත්වරුන් තිදෙනෙක් ළඟට රැගෙන ගියේ උපක්‍රමයක්ද යොදමිනි.

ඒ අනුව එක් වෙද මහතෙක් ළඟට උපාය දූතයෙක් සමඟ ඇය යවන ලද්දේ වෙදැදුරා හා කතාබහ කරන සහ කියන දේ හොර රහසේ ජංගම දුරකතනයෙන් පටිගත කිරීමටද සලස්වමිනි. එම වෙද මහතා ළඟට ගිය යුවතිය ඔහු සමඟ කතා කළාය.

“අනේ වෙද මහත්තයා… මට ළමයි නැති නිසා පහුගිය දවසක වෙද මහත්තයා ළඟට ආවා මගේ මහත්තයා එක්ක… වෙද මහත්තයා මට හොද දොස්තර කෙනෙක් හොයලා දුන්නා… ඒ දොස්තර මහත්තයා බෙහෙත් කළා ඒත් හරි ගියේ නෑනේ…“ යැයි ඇය කීවේ පොලිසියේ උපදෙස් පරිදිය.

ඒ සමඟ කල්පනාවට වැටුණු වයෝවෘද්ධ වෙද මහත්මයාට සිද්ධිය සිහිපත් විය.

“ආ… ඉන්නකෝ මට ඔය සිද්ධිය මතක් වුණා… ඉන්නකෝ ළමයා… මං ඒ දොස්තර මහත්තයගේ අංකේ හොයලා දෙන්නම්… කතා කරලා වැඩේ කරගන්න…“

ඒ අනුව එම වෙද මහතා මාර්ගයෙන් යුවතියගේ කලලය විනාශ කිරීමට චමින්ද විසින් රුපියල් පනස්දහසක මුදලකට සොයා ගන්නා ලද වෛද්‍යවරයෙක් යැයි කී පුද්ගලයාගේ දුරකතන අංකය සොයා ගැනීමට පොලිසියට හැකි විය. අනතුරුව උපාය දූතයා ඔස්සේ එම ‘දොස්තර‘ සම්බන්ධ කරගැනීමට යුවතියට හැකි විය. ඔහුට සියල්ල පැවැසීමත් සමඟ ඊට වෛද්‍යවරයා ලෙස පෙනී සිටි තැනැත්තා රුපියල් 45000ක මුදලක් ඉල්ලීය. එම මුදලට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු කිසියම් ස්ථානයක් කීවේය. ඒ එදා යුවතියගේ කලලය විනාශ කළ පිටබැද්දර, හුලංදාවේ හෝටලයමය. ඒ අනුව ඉකුත් සිකුරාදා දිනෙක සවස එම ස්ථානයට වෛද්‍යවරයා පැමිණෙන බව කීවේය. ඊට පෙර ඔහුට යම් මුදල් ප්‍රමාණයක්ද ගිණුම්ගත කරන ලෙස පැවැසීය. ඒ සියල්ලෙන් පසුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරින් අකුරැස්ස පොලිසියේ නිලධාරීහු දෙදෙනෙක්ද සමඟ ඒ වන විට අනාවරණය කරගෙන තිබූ එම හෝටලයේ රැකවල්ලා සිටියහ. වෛද්‍යවරයා යැයි කී පුද්ගලයා ඔහු කී වේලාවට පැමිණීමත් සමඟ අත්අඩංගුවට ගත්තේ උපක්‍රම රැසක් යොදමිනි. ඔහු එදින හෝටලයට පැමිණියේ යතුරුපැදියකිනි. එම යතුරුපැදිය සමඟ ‘පොලිස් ගැටයට‘ හසුවූ සැකකරු වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකි.

සැකකරු 57 හැවිරිදි අයෙකි. හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු ගුවන් හමුදාවේ හෙද නිලධාරියෙක් ලෙස කටයුතු කොට ඉන් ඉවත් වූ අයෙකි. සැකකාර ව්‍යාජ වෛද්‍යවරයාද සමඟ යුවතියට සිදු කළ අපරාධය සම්බන්ධයෙන් හෝටල් කළමනාකරු සහ ප්‍රධාන සැකකරු වන චමින්දද අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශ නිලධාරින් දින කීපයක් තුළ දිවා රෑ නොබලා සිදු කළ පුළුල් විමර්ශනයකින් පසුවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: