hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 8:14



පුවත්පතක පළ වී තිබූ මංගල දැන්වීමක් අනුව කතා කර ගෙන මනාලිය බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් සමඟ මනාලිය අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මානයක පදිංචි ඔහු සිය බිරිඳ මිය යාමෙන් පසුව තනිව ජීවත් වූ අවුරුදු 60 ක් පමණ වන එක් දරු පියෙක්.

ඔහුගේ පුතාද වෙනම ජීවත් වන බැවින් තනිමව ජීවත් වූ ඔහු වෙනත් විවාහයක් කර ගන්නට සිතා පුවත්පතක පළව තිබූ මංගල දැන්වීමක් අනුව කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ එක් ගම්මානයකට ගියා.

ඔහු බලන්න ගිය මනාලිය අවුරදු 41 ක් පමණ වන සැමියා හැර ගිය කාන්තාවක් බවත් සිය සොහොයුරෙකු සමඟ ජීවත් වන බවත් පවසා තිබෙනවා. දෙදෙනාම විවාහයට කැමති වී තිබෙනවා.

පළමු දිනයේදීම මනාලිය සිය මව අසනීපයෙන් සිටින බව පවසා මනාලයාගෙන් රුපියල් 15,000 ක මුදලක් ලබා ගෙන ඇති අතර තවත් රුපියල් පන් දහසක් ඔහු ලබා දී ඇත්තේ නිවසට අවශය දේ ගැනීමටයි.

ඉන් පසු දිනයකදීද ඔහු ඇය හමු වීමට ගොස් ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් සාදා ඇති නිවස කුලියට ලබා දී ඇති බවත් එම කුලීකරුගෙන් අත්පිට ලබා ගත් රුපියල් 45,000 ක් ගෙවා නිවස භාර ගත යුතු බවත්ය.

එම මුදල ද දීමට මෙම මනාලයා ඉදිරිපත්ව තිබෙනවා.

තෙවන වරට ඔහු ඇය හමුවීමට ගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් 28 වනදායි. එදින ඇය ප්‍රකාශ කර ඇත්තේ නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට රුපියල් 30,000 ක් අවශ්‍ය බවයි.

එම මුදලද ලබා දීමෙන් පසුව ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් දෙදෙනා එකට ජීවත් විමේදී විශාල වියදමක් අවශ්‍ය බැවින් තමන්ටද රැකියාව වශයෙන් ඇඳුම් මැසීම සිදු කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය මැෂිමක් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ සඳහා කීයක් අවශ්‍යදැයි ඔහු ඇසූ විට ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය බව ඇය පවසා තිබෙනවා.

ඇය සමඟම ත්‍රීරෝද රථයකින් බැංකුව වෙත ගිය ඔහු එම ලක්ෂ දෙකද ලබා දී තිබෙනවා.

පසුව ඇය ඔහුව ත්‍රීරෝද රථයන්ම නගරයේ බාබර් සාප්පුවක් අසලට කැඳවා ගෙන ගොස් මනමාලයාට කොණ්ඩය කපාගෙන එන ලෙස දන්වා තිබෙනවා.

මනමාලයා කොණ්ඩය කපා ගෙන ඇවිත් බැලූ විට එම ස්ථානයේ ත්‍රීරෝද රථය නොතිබූ අතර මනාලියද නොසිටියාය. ඇයගේ දුරකථනයද විසන්ධි වී තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ එදා පටන් මේ දක්වා ම එම දුරකථනය විසන්ධි වී ඇති බවයි.

මෙය මිනිසුන් රවටා මුදල් ගරා ගැනීමේ කූඨ ජාවාරමක් විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් පොලීසියේ පැමණිල්ලක් කිරීමට පියවර ගන්නා බවත් ඔහු කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: