hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 4:54



අවුරුදු 54 සහ 70 වියේ පසුවන මවට සහ පියාට උපන්, දොළොස් හැවිරිදි වියේ දරුවෙකුගේ අපූරු කතා පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

වසර ගණනාවක සිට දරු සම්පත් නොලැබෙන නිසාම හරි හම්බකරගත් එකම ආදායම් මාර්ගය වූ කුඹුරු අක්කර 2 විහාරස්ථානයකට ලියා මහණදම් පිරීම සඳහා යන්නට ගිය පියාට නිවසට එන විට තම බිරිඳ ගැබ් ගෙන ඇති බව දැනගැනීම මෙහි විශේෂත්වයක් වුණා.

ඒ.එම්.සී.ජයවීර මහතා මේ වනවිට 70 වියේ පසුවන දෘශ්‍යාබාධිත අයෙකු වන අතර ඔහුගේ ආදරණීය බිරිඳ එම්.එම්. චන්ද්‍ර මැණිකේ 54 වියේ පසුවන අතර, කාලයක සිට මානසික ආබාධයකට ලක්ව සිටිනවා.

හබරණ පොළොන්නරුව පාරේ ඊරිගේ ඔය ප්‍රදේශයේ 29 වන සැතපුම් කණුව අසල පුංචි කාමර දෙකක් තනාගෙන මෙම දෙදෙනා සමග ජිවත් වන පුතා රශ්මික ප්‍රසාද් ජයවීර තවමත් දොළොස්වෙනි වියේ පසුවෙනවා.

අනේක දුක් කරදර මධ්‍යයේ ජීවත් වන මෙම පවුලෙන් අපූරු කතාවක් හෙළිදරව් වුණා.

ජයවීර මහතා සහ චන්ද්‍ර මැණිකේ මහත්මිය විවාහ යෝජනාවකින් විවාහ වී හබරණ ප්‍රදේශයේ පදිංචියට ගොස් අක්කර දෙකක පමණ කුඹුරක් කරගෙන දරු සම්පත් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් ජීවත් වී තිබෙනවා.

දෙදෙනාම වියපත් වන තුරු බලාපොරොත්තු අත් නොහැර සිටියද දරු සම්පත් නොලද නිසා දෙදෙනා සාකච්ඡා කොට ජයවීර මහතා තීරණය කර ඇත්තේ ඔහු සතු කුඹුරු අක්කර 2 පන්සලට පූජා කර තවත් බැඳීම් ඇති කර ගැනීමකින් තොරව මහණදම් පිරීමටයි.

ජීවත්වූ ඉඩම තම බිරිඳගේ නමට ලියා දී ඇයව පවුලේ අයට ජිවත් කරන ලෙස ද කියා තිබෙනවා.

ඒ අනුව මීට වසර දහ තුනකට ඉහතදී තමන් හරිහම්බ කර ජීවත් වූ අක්කර දෙකක කුඹුර විහාරස්ථානයකට පූජා කිරීම ජයවීරමහතා විසින් සිදුකර මහණදම් පිරීම අරමුණු ඇතිව නිවසට පැමිණ තිබෙනවා.

ඒ අතර දින කීපයක් යද්දී බිරිඳ අසනීප වී අසල්වැසි කාන්තාවකගේ උදව්වෙන් පරීක්ෂාකර බැලීමේදී බිරිඳ ගැබ් ගෙන ඇතිබව දැනගන්නට ලැබී තිබෙනවා.

බැදීම් අවසන් කොට එයින් නික්ම යෑමට සිතු ජයවීර නැවතත් දරු සුරතල් බැලීම සඳහා බැඳීම් ඇතිකර ගෙන තියෙනවා.

එසේ ඉපදුණ පිරිමි දරුවා ඉපදී වසර දෙකක් පමණ ගත වෙද්දී ඔහු පුනුරුප්පත්තිය පිළිබඳව කතා කරන්නට වූ බවත්, තම පුතා ටැම්පිට විහාරයක පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් බව ප්‍රකාශ කළේ යැයි පියා අප සමග සඳහන් කරන්නට වුණා.

කෙසේ වෙතත් නිසි අධ්‍යාපනයක් නොලද තමන් සහ බිරිඳට වඩා ඉහළ අධ්‍යාපන දැනුමක් තම පුතු තුළ පවතින බවද ධර්මය පිළිබඳව,අත් හැරීම පිළිබඳව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිසි අවබෝධයක් තම දොළොස් හැවිරිදි පුතාට පවතින බව ඔහු සඳහන් කළා.

එමෙන්ම පුතා ගේ බලාපොරොත්තුව සසුන්ගත වීම බවද මවගේ අකමැත්ත නිසා එසේ නොකර සිටින බවද ඔහු පැවසුවා.

සිය පුත්‍රයා තම මවට සහ තමන්ට දැඩි ලෙස ආදරය කරන බවද නිවසේ බොහෝ වැඩ කටයුතු තම පුතා විසින් සිදුකරන බවද පියා කියා සිටියා.

මෙම දොළොස් හැවිරිදි දරුවා හොඳින් අධ්‍යාපනය ලබන අතර ඉතා මනරම් කටහඬකින් කවි ගායනා, ධර්ම ගායනා කරනුු ලැබීමද විශේෂත්වයකි.

හබරණ ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයෙකු මෙම පවුලේ බොහෝ අවශ්‍යතා ඉටු කර ගැනීමට උදව් කරනා බවත් නමුත් ආහාරපාන, ඇදුම් පැළඳුම්, නවාතැන්පොළක් සහ දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා තමන් මානසික පීඩනයකට ලක්ව සිටින බව පියා සඳහන් කළා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: