hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 8:13



පවුලේ සිටි එකම සොහොයුරා මෙහෙම අවසන් ගමන් ගියේ ඇයි කියල හිතාගන්නවත් බැහැ. මගේ මල්ලිගේ මරණයට වගකියන්න ඕනෙ මේ කාලකන්නි වර්ජනය කාරයො කියලයි කියන්න තියෙන්නෙ “ යැයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී අනතුරටපත්ව මියගිය තරුණයාගේ සොයුරිය දරාගත නොහැකි වේදනාවෙන් කියා සිටියා.

කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් ගම්පහ , මොරගොඩ, පදිංචිව සිටි දිනිත් ඉදුවර පෙරේරා තරුණයාගේ වැඩිමහල් සොයුරිය සෙනුරි දිනිති මෙනෙවිය එසේ තම ශෝකය ප්‍රකාශ කළා.

සොහොයුරා පිළිබඳව කතා කරමින් වැඩි මහල් සොයුරිය මෙසේද පැවසුවා.

” මගේ මල්ලි දඩබ්බර වැඩ කරන කෙනෙක් නෙවෙයි. හරිම අහිංසකයි. ඉස්කෝලෙන් අයින් වෙලා කෝස් එකක් කරන ඕන කියල තමයි මොරටුව යන්න ගත්තෙ. හැමදාම තාත්ත සයිකලෙන් , මල්ලිව ගම්පහ ස්ටේෂන් එකට උදේට ගිහින් ඇරලවල සවසට ගිහින් එක්කන් එනව. එහෙම පරිස්සම් කරපු මගේ මල්ලි මේ විදියට අපිව දාල ගියෙ.

මල්ලිට කලින්දා වැස්ස නිසා යන්න බැරි වුනු හින්දා කොහොම හරි යන්න ඕනයි කියල අද ගියේ. ඒත් මම උදේ කිව්ව මල්ලි අද වර්ජනයක් හින්ද සෙනග ඇති පරිස්සමින් යන්න කියලත්. අනේ ඉඩ නැති නිසා එල්ලිලා යන්න ඇති.

මල්ලි මට උදේ කෝල් එකක් දීල තිබුනත් මට ඒ වෙලාවෙ කතාකරන්න බැරි වුනු නිසා පස්සෙ කතා කළත් මල්ලි කතා කළේ නැහැ. පස්සෙ තාත්තට කතා කළාම තාත්ත අඩන්න ගත්ත. පස්සෙ තමයි දැනගත්තෙ මල්ලිට මෙහෙම කරදයක් වෙලා කියල.”

දහඅට වෙනි වියෙහි පසුවූ දිනිත් ඉදුවර , දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවාව සිටි අතර ඔහුට වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරියන් දෙදෙනෙකි. පවුලේ එකම පිරිමි දරුවා මෙලෙස අනපේක්ෂිත ලෙස මියයාම හේතුවෙන් සොයුරියන් තිදෙනාත් ,මව සහ පියාත් , මිත්තණියත් වේදනාව දරාගත නොහැකිව පසුවූ ආකාරය එම නිවසට ගිය අවස්ථාවේ දැකගත හැකි වුණා.

ගම්පහ , ගජබා විදුහලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති දිනිත් මොරටුව කාර්මික විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කොට ඇත්තේ මෙම වසරේදී වන අතර නිවසේ සිට ගම්පහට ගොස් දුම්රියෙන් ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: