hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:50



දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ 12 වනදා පෙරවරුවේයි.

ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම්හු වර්ජකයන්ට ශාප කරනවා.

තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිති. මියගිය තරුණයා වෙනුවෙන් ලක්‍ෂ පහක ලංසුවක්ද තබා ඇත.

ඒ තරුණයාගේ වටිනාකම කොපමණදැයි අප දන්නේ නැත.

අපට දැනෙන්නේ ඒ තරුණයා මිල කළ නොහැකි බවකි.

“පුතාගේ නම දිනිත් ඉඳුවර. එයාට අවුරුදු දහඅටයි. කටුබැද්ද ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියේ පාඨමාලාවක් හදාරමින් හිටියේ. එයාට පාඨමාලාව අවසන් කරන්න මාස අටයි තිබ්බේ. මම තමයි හැමදාම එයාව ස්ටේසමට අරගෙන යන්නෙ. ගෙදර අරන් එන්නේ. මගේ පුතා මැරුණේ මේ දුම්රිය වර්ජනය නිසයි. අපේ එකම පුතා. අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. කවුද මේකට වගකියන්නෙ. අනේ මේ වගේ අපරාධ වෙන්න ඉඩ දෙන්න එපා. වර්ජනයත් නොතිබුණානම් පුතා වහලේ යන්නෙ නෑ. එයාට දුම්රිය ගමන පුරුදුයි. මට මේ දුක වාවගන්න බෑ.”

“12 වැනිදා උදේ හයේ කෝච්චියේ යන්න බලාගෙන මම පුතාව ස්ටේසමට අරන් ගියා. මම ගෙදර ආවට පස්සෙයි දන්නෙ දුම්රිය වර්ජනයක් බව. මම දරුවගෙ අම්මට කිව්වා පුතාට කෝල් කරලා ආපසු ගෙදර එන්න කියන්න කියලා. පස්සෙ මම 6.45ට විතර පුතාට කෝල් කළා. ආන්සර් කළේ නෑ. පස්සෙ මගේ ෆෝන් එකේ මිස් කෝල් එකක් දැකලා මම ඒ නම්බරේට කෝල් කළා. එතකොට තමයිමට කීවේ පුතා ස්ටේසමේ වැටිලා. පොඩි තුවාලයක් වෙලා කියලා. රාගම රෝහලට මට එන්න කියලත් කිව්වා. මමයි යාළුවෙකුයි රාගම රෝහලට ගියා. එහෙ දරුවා හිටියේ නෑ. ඊට පස්සෙ ආයෙත් අර නම්බර් එකට ගත්තට පස්සෙ හොරපේ දුම්රිය ස්ථානයට එන්න කීවා. මම යද්දිත් දරුවා එතන. පැය තුනක් විතර ගියත් කවුරුවත් පුතාව රෝහලට අරගෙන ගිහින් තිබුණේ නෑ.”

“පොලිස් ජීප් එකේ හරි පුතාව ගෙනියන්න හදන කොට තමයි පොලිසිය කීවේ වෑන් එක එනවා කියලා. පුතා රෝහලට ගෙනිච්චා. හයර් එකට 11,000ක් දෙන්න සල්ලි මගේ ළඟ තිබුණේ නෑ. අපි මේ දරුවන්ට උගන්නලා ඒ අය හොඳ මිනිස්සු කරන්න තමයි හැම සතේම වැය කළේ. අන්තිමට මගේ දරුවා උදුරගෙන ගියා. අපේ සියලු බලාපොරොත්තු සුන් වුණා. මම ඉල්ලන්නේ මේ වගේ අහිංසක පවුල්වල අහිංසක දරුවන්ට මේ වගේ වින්නැහි වෙන්න ඉඩ තියන්න එපා. මේවට වගකිව යුතු අය හෙටින් පස්සෙ අපි මැරුණද ඉනවද කියලවත් හොයලා බලන්නෙ නෑ. දරුවගෙ මරණයෙන් අපි මැරි මැරී ඉපදෙනවා. අපිට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්න ඉඩ තියන්න එපා. එච්චරයි අපි ඉල්ලන්නේ.” යැයි ඒ පුතුගේ පියා වන ඩබ්ලිව්. ඩී. සුදත් පෙරේරා මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: