hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:02



පවතින සමාජ ආර්ථික අර්බුද මැද ශ්‍රී  ලංකාවේ කාන්තාව අද ජීවත් වන්නේ දෙතිස් වද මැද්දේ මෙනි. මේ පීඩාවන් කාන්තාවට පියයුරු පිළිකාවද මාරකයක් වන තරමට එය සුලබ වී ඇත. බොහෝ විට කල් ඇතිව හදුනා ගන්නට නොහැකි වීම ඔවුන් කායිකව මානසිකව දැඩි පීඩාවට පත් කරවන තරමට රෝගය උත්සන්න වන්නට හේතුවක් වන්නේය. තමන්ටම බොහෝ විට හදුනා ගත හැකි පියයුරු පිළිකාව දුරදිග යන්නට මත්තෙන්

හදුනාගෙන හරි ආකාරයට ප්‍රතිකාර ගැනීමේ වටිනාකම පිළිබඳව මෑත කාලයේ ශ්‍රී  ලාංකික කාන්තාවන්ගේ ඇස් ඇරවන වැදගත්ම කතාව පසුගියදා කළේ රටේ ජනාධිපතිවරයාගේ බිරියයි. බොහෝ අය ලෙඩ වසන් කරගෙන සිටියදී සැබෑ වෘත්තිකයකු ලෙස  තමන් පෙළන රෝගය පිළිබඳව හෙළි කරමින් ඇය සමාජය දැනුවත් කරන කතාවක් කළේ ඉන්දිරා පිළිකා භාරය විසින් සංවිධානය කර තිබූ පියයුරු පිළිකා දිනය සැමරීමේ උත්සවයකදීය.

 ඉන්දිරා පිළිකා භාරය ආරම්භ කරන්නේ හිටපු කථානායක කරු ජයසූරිය පවුලේ මූලිකත්වයෙනි. ඉන්දිරා නම් ඔහුගේ දියණිය පියයුරු පිළිකාවක් හේතුවෙන් ජීවිතය හැර යන්නට සිදුවීමත් සමඟය.

මෙම පියයුරු පිළිකා දින  සැමරුමේ ප්‍රධාන දේශනය මෙවර භාර වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිය වන ඉංග්‍රිසි භාෂාව පිළිබඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහටය. ඇය එහිදී පියයුරු පිළිකා රෝගියකු ලෙස ගත කළ පසුගිය වසර තුනකට ආසන්න කාලයක අත්දැකීම් හෙළි කළේ එයින් මේ රටේ කාන්තාවන්ට මෙම රෝගය කල් ඇතිව හ¾දුනා ගන්නට සහ මෙම රෝගීන් වෙනුවෙන් රටක් ලෙස කරන්නට ඇති දේ පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණෙනි.

 ඇය සිය කතාව පටන් ගත්තේම තමන් අද මේ කතාව කරන්නේ පියයුරු පිළිකා  පිළිබඳව මා පරිශීලනය කළ, පරීක්ෂා කළ තොරතුරුවලින් පමණක් නොව පියයුරු පිළිකා රෝගියකු ලෙස ලද පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන බවය.

“මේ පවත්වන පියයුරු පිළිකා පිළිබඳව කතිකාව සඳහා අරමුණු දෙකක් ඇති බව මට හිතෙනවා. එකක් පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනා ගැනීම සඳහා රටේ කාන්තාවන් දැනුවත් කිරීම. අනෙක එවැනි කල් ඇතිව දැනුවත් කොට මෙම රෝගීන් බේරා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළකට මූලාරම්භය දැමීම සහ එය ප්‍රවර්ධනය කිරීම.

මේ අරමුණු දෙකින් මම මගේ කතාවට සංකල්පය කර ගත්තේ දෙවැනි අරමුණ.  එනම් පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළකට පදනම දැමීම.”

ඒ අනුව මහාචාර්ය මෛත්‍රි මූලික වශයෙන් කතාව ඉලක්ක කළේ පියයුරු පිළිකා කල් ඇතිව හදුනා ගැනීමේ ක්‍රියාවලියේදී පවතින සංස්කෘතික මනෝ විද්‍යාත්මක සහ සමාජයීය සාධක පිළිබඳවය. එයින් ඇය පිවිසුම ගත්තේ පියයුරු පිළිකාව පිළිබඳව ඇය ලද අත්දැකීම් හෙළි කිරීමටය.

ඇය පවසන පරිදි 2020 අවුරුද්ද තුළ ශ්‍රී  ලංකාවේ පියයුරු පිළිකා රෝගීන් 3,975ක් හමුව ඇති අතර ඇය ඔවුන්ගෙන් කෙනකු  බවය. මේ සංඛ්‍යාව රටේ හමුවූ සමස්ත පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවෙන්  සියයට 25.7කි. මෙම පියයුරු පිළිකා රෝගීන් අතරින් පළමු අදියරේ සිටි සියයට 4.2ක් වූ සුළු ප්‍රතිශතය අතරට මහාචාර්ය මෛත්‍රිද එක් වූ බව ඇය පවසයි.

 “ඒ 2020 අවුරුද්දේ මාර්තු මාසය. ඔබට මතක ඇති කොවිඩ් වසංගතය ආරම්භ වුණේ මේ කාලයේ. අපිට බොහෝ කාලයක් ලොක් ඩවුන් වෙලා නිවසේ හිඳින්නට සිදුවුණ කාලයක් ඒක. රටම ලොක් ඩවුන් වෙලා ගත වුණු හත් වැනි දවසේ මම සුපුරුදු පරිදි යෝග ව්‍යායාම් කරමින් නිවසේ ඉන්න විට එක්වරම මගේ දකුණු පියයුරේ වැරදීමකින් වගේ අත වැදුණා. මට හොඳට මතකයි ඒ වෙලාවේම මට එහි යම් ගෝලාකාර ගැටිති ස්වභාවයක් පවතින බව තේරුණා. එය තවදුරටත් නිරීක්ෂණය කළ මට මේ ගැටිත්තට හිස්ගෙඩියකුගේ වගේ වල්ගාකාර කොටසක්ද පවතින බව තේරුණා. ඒ තමයි මම මේ ලක්ෂණ මුලින්ම හදුනා ගත් දිනය.

තරුණ කාන්තාවක් ලෙස මා ගත කළ කාලයේ මම වරින් වර පියයුරු පරීක්ෂාවට යොමු වුණා. ඒ කාලයේ මගේ පියයුරුවල මෙවැනි ගැටිති ස්වභාවයක් හේතුවෙන් වරක් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකුත් හමුවුණා. නමුත් ඔවුන් පරීක්ෂාවෙන් නිගමනය කළේ පියයුරුවල එම ගැටිති ස්වභාවය හුදෙක් පිළිකාමය තත්ත්වයක් නොවන බවයි. මේ  නිසා ඇත්තටම මම ඊට පසු ගෙවුණු දශක කිහිපය තුළ මේ ගැන වැඩි අවධානයක් යොමු කළේ නෑ.”

 එලෙස පවසන මහාචාර්ය මෛත්‍රි පවසන්නේ තමන්ගේ පරම්පරාවේ කාන්තාවන්ට පියයුරු පිළිකා සඳහා පියයුරු පරීක්ෂාවකට සමාජයෙන් කිසිදු බලකිරීමක් උනන්දු කරවීමක් සිදු නොවූ බවය.

“ස්ථන ග්‍රන්ථි ගැන විතරක් නොවෙයි අපේ කාලයේ වැඩිවියට පත් තරුණියන්ට එයින් පසුව අපේ ශරීරවලම සිදුවන වෙනස්කම් දෙස බැලීම් අතපත ගෑම හෝ කතා  කිරීම සමාජය මඟින්ම අධෛර්ය කරලයි තිබුණේ. අපේ පාසල්වල ගුරුවරුන් විද්‍යාව පන්තියේදී හෝ සෞඛ්‍ය පන්තියේදීත් ප්‍රජනක පද්ධතිය පිළිබඳව කතා කළේ වැසුණු මානසිකත්වයකින්. මේ නිසා අපේ පියයුරු සහ ඒ ආශ්‍රිත ග්‍රන්ථි පිළිබඳව අප ලද දැනුම බොහෝ විට පෙළපොත්වල තිබෙන කළු සුදු පාටින් මුද්‍රණය වුණු රූප සටහන්වලට පමණක් සීමා වුණා. අපට අද වගේ ඇඟිලි තුඩුවලින් ක්ෂණිකව මේ දැනුම සොයා ගැනීමේ ඉඩකඩක් තිබුණේ නෑ.”

ඇය වර්තමාන අධ්‍යාපනවේදීන්ටද යම් පණිවුඩයක් දෙයි. ඇය එහිදී අවධාරණය කළේ ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ද්විතීයික අවස්ථාවේදී මෙම දැනුම සිසුන්ට ලබාදීම මෙවැනි රෝගාබාධ කල් ඇතිව හදුනා ගැනීමේදී අතිශයින්ම වැදගත් වන බවය.

“මේ පිළිබඳව පර්යේෂකයන් තම පර්යේෂණවලින් හෙළි කරගත් තොරතුරු මඟින් අවධාරණය කරන්නේ මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්න සහ පාසල් පෙළ පොතට හෝ විෂය මාලාවට පමණක් නොව ඊට පරිබාහිර ක්‍රියාකාරම්වලින්ද දරුවන් දැනුවත් කළ යුතු බවයි.  පියයුරු පිළිකා වැනි ප්‍රශ්න පෙළ පොතින් බැහැරව ඔවුන් සමඟ විවෘතව කතා බහ කිරීම, මේ ගැන වෙනත් වැඩසටහන් දියත් කිරීම වැනි පියවරවලින් මෙම රෝග කල් ඇතිව හදුනාගෙන විපතට පත් වන්නට යන අය  මුදා ගත හැකියි.”

ඇය යළිත් ඇය පියයුරු පිළිකා රෝගියකු ලෙස ලත් අත්දැකීම්වලට පිවිසුණාය.

“රෝගය හඳුනා ගන්නා අවස්ථාවේ මා ගත කළ ජීවිතය සමඟ බැදුණු අවදානම් සාධක පිළිබඳවත් මා මෙහිදී සඳහන් කළ යුතුයි. මා ඒ වනවිට ගත කළේ පනස් විය ඉක්මවූ මැදිවියේ කාන්තාවක ලෙස. මා ඒ වනවිට ආර්තවාභාවයට ලක්ව සිටි කාන්තාවක්. මම  දරුවන් හදා නැති, මවු කිරි ලබා දී නැති කාන්තාවක්. ඒ වගේම මගේ මවගේ පාර්ශ්වයෙත් පියාගේ පාර්ශ්වයෙත් පිළිකා රෝගී මරණ වාර්තා වී තිබුණා. එබැවින් මෙම පියයුරු පිළිකා සඳහා හේතු වන්නේ යැයි කියන HER 2 මට පරම්පරාවෙන්ම උරුම වී තිබෙන්නට ඇති.

නමුත් ප්‍රශ්න කිහිපයක් තිබුණා. එවැනි පසුබිමක් තුළදීවත් මා මේ ගැන උනන්දු නොවුණේ ඇයි? අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබියදී ඒ සේවය ආශ්‍රයෙන් මේ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයි? මගේ පසුබිමේ හැටියට පෞද්ගලික රෝහලකින් හෝ කාන්තාවන් වෙනුවෙන් වුණු සුවනාරි සායනයකින් හෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හෝ වරින් වර පරීක්ෂාවන් කර ගැනීමට මා යොමුව තිබුණේ නෑ. අඩුම තරමින් මැමෝග්‍රෑම් එකක්වත් සිදු කර ගැනීමට මම යොමුවුණේ මගේ රෝගය හදුනා ගත්තායින් පසුවයි.

මා වගේ කාන්තාවක් පියයුරු පිළිකාවට බදුන් වුණා කීවම මගේ මිතුරියන් පුදුම වුණා ඔයාට එහෙම වුණේ කොහොමද කියල. නමුත් නිසි සැලකිල්ලත් නොදැක්වුවහොත් අපි කාටත් එකම තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා.”

මෙසේ පැවසූ මහාචාර්යවරිය යළි යළිත් අවධාරණය කළේ පියයුරු පිළිකා කල් ඇතිව හදුනා ගැනීම පිළිබඳව කාන්තාවන් මෙන්ම සමස්ත සමාජයම අවධානය යොමු කළ යුතු බවය.

 ඇය පිළිකා රෝගියකු ලෙස ජීවිතයට මුහුණ දුන් ආකාරය පිළිබඳවද එහිදී අදහසක් මතු කළාය.

“මම ඊළඟට හිතුවේ මේ තත්ත්වයත් එක්ක ඉදිරියේදි මරණයට මුහුණ දීම ගැනයි.  මොකද අපට ජීවිතය තුළ මරණය නියත කරුණක්. බුදුන් වහන්සේ  මෙන්ම ගී්‍රක දාර්ශනිකයන්ද මේ ගැන පවසා තිබෙන දේවල් මා යළිත් සිහියට ගත්තා. දලයි ලාමාතුමා, මාටින් හෙඩෙග්සර් වැන්නන් පවසා ඇති දේවල් පවා යළිත් සිහියට ගත්තා. ඔවුන් පවසා ඇති දේවල් මගේ මානසිකත්ව ජයග්‍රහණය කිරීමට වගේම පිළිකා පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීමටත් ප්‍රබල ලෙසින් බලපෑවා.

මට බොහෝ දෙනකු කීවේ මෙයට එරෙහිව සටන් කරන්න කියලයි. ඒ පිළිබඳව ඉංගී්‍රසි මහාචාර්යවරියක ලෙස මා මුලින් මගේ මනස ඒ සඳහා සූදානම් කර නොගත්තත් පසුව මා ප්‍රතිකාර සඳහා යොමු වුණා.”

 ඇයට අනුව ඇය 2020 වසරේ සිට මේ දක්වා සැත්කම් දෙකකට මුහුණදී ඇති අතර කෙමෝතෙරපි රසායන ප්‍රතිකාර චක්‍ර 08කට මුහුණ දී ඇති අතර විකිරණ ප්‍රතිකාර වට කිහිපයකට සහභාගි වන්නට සිදුව ඇත.

“මම මුලින් මරණය ගැන සිතන්නට හේතු පැහැදිලි කළොත් පිළිකාවක් කීවම මරණය උරුම කියන සාම්ප්‍රදායික හැඟීම සමාජයට තිබෙනවා. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. පිළිකාවට අද පවතින ප්‍රතිකාර එදාට වඩා දියුණුයි. කල් ඇතිව පිළිකා හදුනා ගැනීමේ තාක්ෂණයන් අපට තිබෙනවා. ඒ නිසා ඒ ගැන සමාජය දැනුවත් විය යුතුයි.

 බොහෝ රෝගීන්ට මෙන්ම මටත් තෙමෝතෙරපි එනම්, රසායනික ප්‍රතිකාර ගන්නා අවස්ථාවේ  විශාල අපහසුතා ඇති වුණා. නමුත් ඔබ පුදුම වේවි මම ඒ කාලයත් වෙනදාට වඩා ප්‍රතිඵලදායි සැනසිලිදායක ලෙස ගත කරන්නට අවස්ථාව හදා ගත්තා. විශේෂයෙන් මේ කාලය කොවිඩ් නිසා රට ලොක් ඩවුන් කර තිබුණේ.  ඒ නිසා  මට වෙනදට වඩා විවේකයක් ලැබුණා. පොත පත කියෙව්වා. යූ ටියුබ් සංගීතය රස වින්දා. වෙනදට වඩා නිදා ගන්නට හැකි වුණා. අපට මම හිතන්නේ විවාහයෙන් පස්සේ මටත් මගෙ සැමියාටයි වෙනදට වඩා වැඩි කාලයක් එකට පවුලේ හිතවතුන්, මිතුරන් සමඟ ගත කිරීමට මේ කාලය වඩාත් ඵලදායී ලෙස යොදා ගත්තා.

ධෛර්යයෙන් සහ සුබවාදීව පිළිකාව සමඟ සටන් කළ ඇය අවසානයේදීත් යළිත් අවධාරණය කළේ, පියයුරු පිළිකාව ගැන කල් ඇතිව දැනුවත් වීමත් එය හදුනා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් වර්ධනය කිරීමේත් අවශ්‍යතාව පිළිබඳවය.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: