hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 12:00



වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන සිදු කරන අපරාධ සම්බන්ධ පැමිණිලි 2023 වසරේදී 1541 ක් ලැබී ඇතැයි ද ඉන් 461 ක්ම තර්ජනය කර බියවැද්දීම සම්බන්ධ පැමිණිලි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරු චාරුක දමුණුපොළ මාධ්‍යයට තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ පසුගියදාය.

ලිංගික ඡායාරූප හිරිහැර, කතුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට කරන තර්ජන, ෆේස්බුක් ගිණුම් හැක් කිරීම, මුරපද සොරකම් කිරීම, සමාජ මාධ්‍ය අපරාධ පැමිණිලි මේ අතර ඇති බව වාර්තා විය.

අන්තර්ජාලය පරිශීලනයේදී යම් පුද්ගලයන් විසින් සිදු කරන සමාජ මාධ්‍ය අපරාධ එන්න එන්නම වැඩි වීමේ ප්‍රවණාතාවක් පෙනෙන්නට ඇති බව මින් මොනවට පැහැදිලි වෙයි.

පසුගිය වසරේ මෙරට ළමයින්ගේ නිරුවත් ඡායාරූප 1,08,000 ක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණු බවද එසේ මුදාහැර ඇති පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිකරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය ගූගල් සමාගම සමඟ එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති බව හෙළිවන්නේ ද පසුගියදාය.

විශේෂයෙන් මෙවැනි කරුණු කාරණාවලදී වැඩිපුර අගතියට පත්වන්නේ යුවතියන් කාන්තාවන් බවද හෙළි වී ඇත. 2023 වසරේ මාස 09 ක් ඇතුළත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබුණු පැමිණිලි 23534න් සියයට 70ක් ම ලැබී තිබුණේ කාන්තාවන්ගෙනි.

සිසුවියන්, තරුණ යුවතියන්, තරුණ කාන්තාවන්, විවාහක කතුන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇතිකරගන්නා ඇතැම් පුද්ගලයන් මේ කාන්තාවන් විවිධ ලැගුම්හල්වලට ගෙන ගොස් ලිංගිකව හැසිරී පසුව ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ගෙන තවත් ටික කාලයකදී ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට එකතු කරන බවට තර්ජනය කර කතුන් බියගන්වා මුදල් සහ ලිංගික අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි ගණනාවක් පොලිසියට පසුගිය කාලයේ ලැබී තිබිණි.

මේ කතාව ද එවැන්නකි. වාර්තා වන්නේ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයෙනි.

ඇය සුරූපී යුවතියකි. 20 හැවිරිදි ඇය කොළඹ ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තාය. මේ බව ඇගේ නිවසේ අය කිසිවකු දැන සිටියේ ද නැත.

තමා ආදරයෙන් බැඳී සිටින පෙම්වතා ‘තක්කඩියකු’ බව මේ අහිංසක යුවතිය දැන සිටියේ නැත. ඇය එතරම් තම පෙම්වතාට ආදරය කළාය.

දෙදෙනාගේ ආදරයට දිනෙන් දින සතියෙන් සතිය ගත වෙද්දී දෙදෙනාටම දෙදෙනා නොදැක සිටීමට බැරි වන තරමටම දෙදෙනා ආදරයෙන් බැඳී සිටියෝය.

මේ කාලයේ දිනක් තරුණයා සිය පෙම්වතිය හමු වී ඇයට යෝජනාවක් කළේය. ඒ තමන් සමඟ හෝටල් කාමරයකට යෑමට එන ලෙසය. තරුණිය මුලින් ඊට අදිමදි කළ ද පෙම්වතාගේ සිත රිදවිය නොහැකි නිසා ඇය ඔහුට අවනත වූවාය.

පෙම්වතා ඇය කැටුව හෝටලයකට යන්නේ ඉන් අනතුරුවය. හෝටලයේ කාමරයක් වෙන්කර ගත් ඔහු පෙම්වතිය ඊට කැඳවාගෙන යන්නේ එදා දවස එහි ගත කිරීමේ අරමුණෙනි. යුවතිය එදින පෙම්වතා අතින් කෙලෙසුණාය. එහෙත් ඇය සිත හදා ගත්තාය. ඒ ඔහු තමා කිසිදාක හෝ විවාහ කර ගනියි යැයි බලාපොරොත්තුවෙනි.

මේ දෙදෙනා අඹුසැමියන් සේ සිටිනු පෙම්වතා සිය ජංගම දුරකතනයෙන් හොර රහසේ වීඩියෝ කළේය. යුවතිය එය දැන සිටියේ නැත.

බොහෝ වේලාවක් එලෙස අදාළ හෝටල් කාමරයේ ගත කළ යුවළ ඉන් පිටවී ගියෝය. යුවතිය පෙම්වතාගෙන් එදින සමුගත්තේ වේදනාවෙනි. පෙම්වතා තමන්ට කිසි දිනෙක දිවි හිමියෙන් පිටු නොපානු ඇතැයි පෙම්වතිය සිතාගෙන සිටියාය.

එහෙත් මේ ‘තක්කඩි පෙම්වතාගේ’ ප්‍රධාන අරමුණ වී තිබුණේ තම ළාබාල පෙම්වතිය ලවා තමාගේ පහත් ලිංගික ආශාවන් සම්පූර්ණ කර ගැනීමයි. මේ බවක් පෙම්වතිය දැන සිටියේ නැත.

දින සති ගෙවී ගියේය. නැවත දිනෙක පෙම්වතිය හමුවුණ මේ ‘තක්කඩි පෙම්වතා’ ඇය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතරතුරේ ඇයට යෝජනා කරන්නේ නැවත හෝටල් කාමරයකට ගොස් එදිනද එහි ගත කරමුයි කියාය.

පෙම්වතා ආදරයට වඩා රාගයට මුල් තැනදී කටයුතු කරන අයකු බවට පෙම්වතියට සිතා ගැනීමට වැඩි වේලාවක් ගත වන්නේ නැත. ඇය පෙම්වතාගේ වදන් අසා කෝපාවිෂ්ට වූවාය. පෙම්වතාගේ යෝජනාව ඇය පිළිකුලෙන් බැහැර කරන්නේ ඔහුට දොස් කියමිනි.

පෙම්වතියගේ මේ හදිසි වෙනසින් පෙම්වතා වික්ෂිප්ත විය. ඔහුට එදින අවශ්‍ය වූයේ පෙම්වතිය සමඟ මීට පෙර ගත කළ පැය කීපයම හෝටල් කාමරයක ඇය සමඟ ගත කිරීමටයි. පෙම්වතියට ඔහු කෙතරම් ඇවිටිලි කළ ද ඇය තමන් සමඟ නොඑන බව දැනගත් පෙම්වතා ඇය සමඟ උරණ වන්නේ ඒ මොහොතේමය. ඉන් නොනැවතුණ ඔහු පෙම්වතිය සමඟ පෙර දිනක හෝටල් කාමරයේ ගත කරද්දී ඇය සමග අඹු – සැමියන් ලෙස ගත කරද්දී ගත් දර්ශන ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට මුදා හරින ලෙස පවසා ඇයට තර්ජනය කළේය.

පෙම්වතාගේ මේ කතාවෙන් භීතියට පත් තරුණියට කළ හැකි දෙයක් නැති විය. ඇය සිතින් හඬා වැටුණාය. වැලපුණාය. පෙම්වතාට දෙස් දෙවොල් තැබුවාය. දැන් ඉතින් කළ හැකි දෙයක් නැත. ඔහු යාප්පුවෙන් තබා ගැනීමට කළ හැකි එකම දේය. මේ බව සිතාගත් යුවතිය පෙම්වතාගේ බසට කැමති වී ඔහු සමඟ හෝටල් කාමරයකට ගියාය. එදින සිදු වූයේත් පෙර දින සිදුවූ දේමය.

මේ සිද්ධියෙන් අනතුරුව යුවතියට තක්කඩි ප්‍රේමවන්තයාගෙන් බේරුමක් නැති විය. ඇයට වරින්වර දුරකතන ඇමැතුම් දුන් තක්කඩි ප්‍රේමවන්තයා ඇගෙන් ඉල්ලා සිටියේ තමන් සමඟ හෝටල් කාමරයකට එන ලෙසය. එසේත් නැතිනම් ඇගේ ලිංගික චර්යා සහිත දර්ශන ඇතුළත් ඔහු සතුව ඇති විඩියෝව සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින බව පවසමින් ඔහු පෙම්වතියට තර්ජනය කළේය.

තමන්ගේ පෙම්වතා තක්කඩියකු බව සැක හැර දැනගත් පෙම්වතිය ඔහුගෙන් ගැලවීමක් නැති බව දැනගෙන මේ බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කළාය.

යුවතියගෙන් කට උත්තරයක් ගත් පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන්නේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහාය.

සැකකාර පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ ඉන් අනතුරුවය. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කරද්දී පෙම්වතියගේ නිරුවත් දර්ශන අඩංගු ඡායාරූප සහ වීඩියෝ සොයා ගැනීමට පොලිස් විමර්ශන නිලධරයන්ට හැකි විය. යුවතිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කැරිණි.

පොලිස් ළමා සහ කාන්තා කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි සමන්ති රේණුකා, උප පරීක්ෂකවරුන් වන කාන්දීපන්, සේනාරත්න යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කළහ.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: