hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 1:15



රමේෂ්බාබූ ප්‍රඥානන්ද චෙස් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

ලෝකයේ ඉහළතම බුද්ධි පරිමාවක් අවශ්‍ය ක්‍රීඩාවේ, තරගකාරීම ඉසව්වක අවසන් මහා තරගයට නළලේ අළු තවරාගත්, කේඩෑරි තරුණයෙක් සුදුසුකම් ලැබුවේය.

ඇමෙරිකානු, රුසියානු, ජපන් ශූරයන් පරදවා චෙන්නායි හි ධීවර ගමක කොල්ලෙක් ජයගත්තේය.

මේ ඔහුගේ කතාවයි.

දකුණු ඉන්දියාවේත් ඈත කෙලවරට වන්නට ඇති මුහුදුබඩ ගම්මානයක 2005 වසරේ උපත ලැබූ කොලු ගැටයෙකි.

අතිශය සාමාන්‍ය පවුලක දෙවන දරුවා ලෙස උපත ලැබූ මේ කොලු ගැටයාට රමේෂ්බාබූ ප්‍රඥානන්ද ලෙස නම් තැබුවේ ඔහුගේ පියා නමිනි.

ඔහුගේ පියා රමේෂ්බාබූ එවකට බැංකුවක සාමාන්‍ය සේවකයෙකි.

මව නාගලක්ෂ්මි සාමාන්‍ය දකුණු ඉන්දීය මවක් සේම ගෘහනියක විය.

රමේෂ්බාබූ ට වැඩිමහල් සොහොයුරියක් විය.

චෙන්නායි හි මුහුදුබඩ ගම්මානයක පිහිටි ප්‍රඥානන්ද ගේ නිවසට චෙස් උමතුව රැගෙන ආවේ මේ වැඩිමහල් සොහොයුරිය වෛෂාලි ය.

සිය වයසේ වෙනත් පිරිමි දරුවන් ගේ වීරයන් සචින් තෙන්දුල්කාර් ලා, මහේන්ද්‍ර සිං දෝනි ලා වෙද්දී කුඩා ප්‍රඥානන්ද ගේ වීරයා ඉන්දීය චෙස් ලෝක ශූර විශ්වනාදන් ආනන්ද් විය.

ඒ වෙනසට හේතුව ඔහුගේ වැඩිමහල් සොහොයුරියයි.

ඉන්වසර කිහිපයකට පසු දහඅට හැවිරිදි රමේෂ්බාබූ ප්‍රඥානන්ද චෙස් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ, ලෝක චෙස් ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයේ පසුවන ඇමෙරිකානු චෙස් ශුර ෆැබියානො කෘආනො පරාජය කරමිනි.

අද ඔහු චෙස් ක්‍රීඩාවේ වර්තමාන රජු මැග්නස් කාර්ල්සන් හමුවේ චෙස් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

ලොව එදාමෙදාතුර බිහි වූ විශිෂ්ඨතම චෙස් ක්‍රීඩකයන්ගෙන් අයෙකු ලෙස සැලකෙන මැග්නස් කාර්ල්සන් චෙස් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටියි.

කාර්ල්සන් පහසුවෙන් පරදින්නේ නැත.

නමුත් අපේ කථානායකයා ප්‍රඥානන්ද ද සුලුපටු චරිතයක් නොවේ.

මැග්නස් කාර්ල්සන් පරාජය කළ ලාබාතම ක්‍රීඩකයා අන්කිසිවෙක් නොවේ. ප්‍රඥානන්ද ය.

වයස අවුරුදු 16 දී පිට පිට තෙවරක් කාර්ල්සන් පරාජය කිරීමට ඔහු සමත් විය.

එම නිසා අවසන් මහා තරගය සුලුවට තැකීමට කිසිවෙකුත් කටයුතු නොකරනු ඇත.

විශේෂයෙන්ම ප්‍රතිවාදීන් අවතක්සේරු කොට, ඔවුන්ගේ මානසිකත්වය බිඳ දැමීමට සහ සමච්චල් කිරීමට ප්‍රසිද්ධ මැග්නස් කාර්ල්සන් නම් කිසිවිටෙක මේ අවසන් මහා තරගය සුලුකොට නොතකනු ඇත.

ඉන්දීය චෙස් ක්‍රීඩකයෙකු ලෝක චෙස් ශූරතාවයක අවසන් මහා තරගයට පැමිණියේ දශක දෙකකට පසුවය.

කලක් ලෝක චෙස් ශූරයා ලෙස වැජඹුණු විශ්වනාතන් ආනන්ද් මීට වසර 20කට පෙර එම දස්කම සිදු කළේය.

නමුත් යන්තම් වයස 18 සැපිරූ ප්‍රඥානන්ද ගේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම වෙනස් ය.

ක්‍රිකට් ලේ වලට බද්ධ වූ රටක, කුඩා දරුවන් පන්දුව සහ පිත්ත අතට ගන්නා රටක රමේෂ්බාබු ප්‍රඥානන්ද චෙස් ජාත්‍යන්තර මාස්ටර්වරයෙකු (International Master) බවට පත් වූයේ වයස අවුරුදු දහයේදීය.

චෙස් ක්‍රීඩාවේ ලාබාතම ජාත්‍යන්තර මාස්ටර්වරයා ඔහුය.

ඉන්වසර දෙකකට පසුව ඔහු ග්‍රැන්ඩ් මාස්ටර්වරයෙකු (Grandmaster) ලෙස තවත් පියවරක් ඉහළට තැබුවේය.

ලොව දෙවන ලාබාලතම චෙස් ග්‍රැන්ඩ්මාස්ටර්වරයා ඔහු විය.

මේ වනවිට චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටිනා සෑම නාමයක්ම පරාජය කර ඇති ප්‍රඥානන්ද, ගියවසරේත් රැපිඩ් සහ බ්ලිට්ස් තරග වලදි මැග්නස් කාර්ල්සන් පරාජය කළේය.

ප්‍රඥානන්ද සැලකෙන්නේ ඉහළම මතකයක් ඇති චෙස් ක්‍රීඩකයෙකු ලෙසිනි.

ඔහුට තමන් පෙර ක්‍රීඩා කළ සියලූම තරග වල හැසිරීම් මතකයේ තිබේ.

එම නිසා ඔහුගේ අත්වැරදීම් ඔහු හොඳින් දනියි.

ඔහු එකම වරද දෙවරක් සිදුකරන්නෙ නැත.

එමෙන්ම සිය ප්‍රතිවාදියා වේගයෙන් කියවා ගැනීමටත්, ඔහුගේ මීළග පියවර අනුමාන කිරීමටත් ප්‍රඥානන්ද දක්ෂය.

ලෝකයක් දිනූ ප්‍රඥානන්ද ඕනෑම ජාත්‍යන්තර තරගයකට සහභාගී වන්නේ සිය හින්දු සංස්කෘතිය අභිමානයෙන් සමරමිනි.

ඔහුගේ නළලේ සාම්ප්‍රදායික හින්දු විභූති ආලේපනය වරදින්නේ නැත.

ඒ විභූති ඔහුට වාසනාව ගෙන එන බව ඔහුගේ විශ්වාසයකි.

ප්‍රඥානන්ද පසුපසුම සිටිමින් ඔහු දිරිමත් කරනා ඔහුගේ හයිය ඔහුගේ මවයි.

මෑතක සිට නිව්යෝර්ක් හි වේවා, ලංඩන් හි වේවා, ඩුබායි හි වේවා මේ කොහේ හෝ ජාත්‍යන්තර චෙස් තරගාවලියක් පැවැත්වුනහොත්, සාම්ප්‍රදායික දකුණු ඉන්දීය සාරියෙන් සැරසුනු සරල කාන්තාවක් දැකගත හැකි වනු ඇත.

ඒ සිය එකම පුතා පසුපසම සිටිනා ප්‍රඥානන්ද ගේ මවයි.

ප්‍රඥානන්ද ගේ සොහොයුරිය වෛශාලි ත් ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය කළ කාන්තා ග්‍රැන්ඩ්මාස්ටර්වරියකි.

චෙස් ක්‍රීඩාව යනු ජාතියක බුද්ධිය මැනිය හැකි ක්‍රීඩාවකි.

යම්කිසි රටකින් චෙස් ග්‍රැන්ඩ්මාස්ටර්වරු, ශුරයන් වැඩි වශයෙන් බිහි වෙනවා නම්, ඒ එම රටේ බුද්ධිමය ධාරිතාවේ සංකේතයකි.

ඉන්දියාවෙන් බිහි වූ පළමු චෙස් ලෝක ශූරයා විශ්වනාදන් ආනන්ද් යනු අහඹුවක් නොවන බවට ඔප්පු කිරීමට ප්‍රඥානන්ද ලා, වෛශාලි ලා සමත් වී තිබේ.

අද දින, ලෝකයේ ඉහළතම බුද්ධිමය ධාරිතාවයක් අවශ්‍ය ක්‍රීඩාවේ අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.

ලෝකයක් එදෙස බලා සිටිනු ඇත.

අභිමානවත් මැග්නස් කාර්ල්සන් ට ඉදිරියෙන් ඇති අසුන නළලේ හින්දු විභූති ආලේප කරගත්, දුඹුරු පැහැ සමකින් යුත් කේඩැරි තරුණයෙකුට වෙන් වෙනු ඇත.

ඔහු පසුපසින් සාම්ප්‍රදායික හින්දු සාරියකින් සැරසුනු වියපත් දමිල කාන්තාවක් දැකගත හැකි වනු ඇත.

තරගයේ ප්‍රතිඵලය කුමක් වුනත් අද අසල්වැසි ඉන්දියාවේත්, ශ්‍රී ලංකාවට කිලොමීටර තුන්සීයක් එපිටින් පිහිටි චෙන්නායි නගරයේත්, සමස්ත චෙස් ක්‍රීඩාවේත් ඉතිහාසය අලුතෙන් ලියැවෙනු ඇත.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: