hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 12, පෙ.ව. 12:04



“මගේ දුව හරිම ලස්සනයි. ඒ හින්දා හැමෝම එයාට ආදරෙයි. ගෙදර වැඩ ටික හොයා බලලා කරන්නේ දුව. දුව නැති වුණු එක මගේ දකුණු අත කැඩුණා වගේ. මගේ ලස්සන දුව අද මට නෑ. මරණ සහතික කොළය විතරක් අද මට ඉතිරි වෙලා.” යැයි ලොරියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මියගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ හදිසි මරණ පරීක්ෂණයේදී මව වන මේනුවරගේ මොනිකා ක්‍රිෂාන්ති  සාක්ෂි දෙමින් පවසනවා.

මෙලෙස මිය ගොස් තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිව් වැනි වසර අවසන් කර උපාධිය අපේක්ෂාවෙන් සිටි රඹුක්කන, ගලඋඩදෙණිය, පොල්අත්තාපිටිය ලිපිනයේ පදිංචිව සිටි මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකර නමැති 26 හැවිරිදි අවිවාහක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

මේ ශිෂ්‍යාව ඇතිදැඩි කරමින් සිටි සුනඛයාගේ පාදයක අස්ථියක් බිඳී ගොස් තිබියදී ඊට ප්‍රතිකාර කිරීමට ඉකුත් 07 වැනිදා බාල සහෝදරයා සහ බාප්පාගේ පුතා සමඟ පේරාදෙණියේ පිහිටි රජයේ සත්ත්ව රෝහලට ගොස් ප්‍රතිකාර ගෙන ආපසු පැමිණෙමින් සිටියදී කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල පොලිස් වසමේ මංගලගම ප්‍රදේශයේදී ඉදිරියෙන් මාවනැල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක ගැටී ත්‍රිරෝද රථයේ සිටි තිදෙනාම බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ජීවිතක්ෂයට පත්ව තිබිණි. සෙසු තරුණයන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය ශිෂ්‍යාවගේ හදිසි මරණ පරීක්ෂණය 08 වනදා දහවල් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ මව වන මේනුවරගේ මොනිකා ක්‍රිෂාන්ති මහත්මිය මෙලෙස ද කීවා.

“මගේ මහත්තයා මෙරගල්ගේ සම්පත් වීරසේකර. සම්පත් දැනට රුමේනියා රාජ්‍යයේ ආයතනයක සේවය කරනවා. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 27ක් වෙනවා. අපි දෙන්නට දුවලා දෙදෙනෙක් සහ පුතෙක් ඉන්නවා.මියගොස් සිටින සනුරි ඉසුරිකා වීරසේකර දුව කුරුණෑගල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කලා අංශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අවුරුදු හතරම ඉගෙන ගත්තා. අවසන් විභාගය ලියලා ගෙදරට වෙලා හිටියා. ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා. දෙවැනි දුව සඳුනි ඉමාෂා වීරසේකර. ඒ දුවත් කුරුණෑගල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් ඉගෙන ගෙන නිවෙසට වෙලා ඉන්නවා. තෙවැනි පුතා සසිඳු ඉමල්ක වීරසේකර. පුතා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඉකුත්දා පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ගෙදර ඉන්නවා.

මහත්තයා රුමේනියා රාජ්‍යයේ අවුරුදු පහක කාලයක් රැකියාවක් කර ලංකාවට ඇවිල්ලා නැවත ගිහිල්ලා මාස තුනයි. මම රැකියාවක් කරන්නේ නෑ. දරුවන් බලාගෙන ගෙදර ඉන්නවා.සනුරි දුව මීට අවුරුද්දකට ඉස්සර කුරුණෑගලින් රුපියල් 20,000ක් දීලා බලු පැටියෙක් ගෙනාවා. මේ බලු පැටියාට ඔජො කියලා නමකුත් දැම්මා. බල්ලා ලොකුයි. නිතරම සෙල්ලම් කරන්න බල්ලා කැමතියි. ඉකුත් 04 වැනිදා බල්ලා මිදුලේ සෙල්ලම් කරමින් ඉන්න කොට ඌගේ පිටිපස්සේ කකුලක් ගහක වැදිලා ඇවිදින්න බැරි වුණා. පස්සේ එදාම දුව අපේ ත්‍රීවීල් එකෙන් කෑගල්ල පෞද්ගලික සත්ත්ව ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු ළඟට අරන් ගියා. ඒ වෛද්‍යවරයා බලලා කියලා තියෙනවා මට බෙහෙත් දෙන්න බෑ, පේරාදෙණිය තියෙන සත්ත්ව ඉස්පිරිතාලයට ගෙනියන්න කියලා.

ඊට පස්සේ තමයි එදා (07) උදේ අපේ ත්‍රීවීල් එකෙන් පේරාදෙණිය රජයේ සත්ත්ව රෝහලට බල්ලා අරන් යන්න තීරණය කර ගත්තේ. අපේ ගේ ළඟ ඉන්න උදාර කෞශල්‍ය පුතා ත්‍රීවීල් එක අරන් ගියේ. දුවත්, පුතත් බල්ලා අරගෙන ත්‍රීවීල් එකට නැඟලා උදේ 8.30ට විතර ගෙදරින් පිටත් වෙලා ගියා.හවස දෙකට විතර මම දුවට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ දුව කිව්වා, අම්මේ බල්ලාගේ කකුල් දෙකම හැදුවා. ඉස්පිරිතාලෙට සත පහක්වත් ගත්තේ නෑ. ඒත් කඩෙන් ගත්ත බඩු ටිකට රුපියල් 8,000ක් ගියා කියලා. දැන් අපි ගෙදර එන ගමන් ඉන්නේ කියලත් කිව්වා.

හවස 3.50ට විතර තැපැල් කන්තෝරුව ළඟ ඉන්න කෙනෙක් අපේ ගෙවල් ළඟට ඇවිල්ලා අපේ ගෙවල් ළඟ ඉන්න රෝෂි ජයතිලකට කියලා තියෙනවා ත්‍රිරෝද රථය මංගලගමදී අනතුරකට ලක්වෙලා තුන්දෙනාම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරලා කියලා. පස්සේ අපේ ගෙවල් ළඟ ඥාති කෙනෙක් එක්ක මම කෑගල්ල රෝහලට ආවා. රෝහලේ හෙදියක් මට කිව්වා, දුව මිය ගිහිල්ලා, අනෙක් දෙන්නාට තුවාලයි කියලා.

පස්සේ අපි හවස ගෙදර ගිහිල්ලා පහුවදා (08) කෑගල්ල මහ රෝහලට ආවා. දුවගේ දේහය හඳුනාගෙන මරණ පරීක්ෂණයට පෙනී සිටියා. මට මේ මරණය ගැන සැකයක් නෑ. මට පස්සේ දැන ගන්න ලැබුණා කෑගල්ලේ ඉඳලා මාවනැල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ඉදිරිපස ත්‍රීවීලරය හැප්පිලා තුන් දෙනාම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරලා කියලා. බල්ලා ද අනතුරින් පසුව මිය ගිහිල්ලා කියලා දැන ගත්තා. නමුත් බල්ලා මම දැක්කේ නෑ. මේ අනතුර සම්බන්ධයෙන් මම මහත්තයාට කිව්වා. එයා ලංකාවට එන්න පිටත් වුණා කියලා කිව්වා.”

මියගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ. ඒ. ආර්. සුරංග කුලතුංග මහතා විසින් සිදු කෙරිණි.

දුන් සාක්ෂිවලට හා වෛද්‍ය වාර්තාවට අනුව මහා මාර්ගයේ සිදු වූ අනතුරකින් හිස, පපුව ඇතුළු බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: