hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 12:04



ඔරුගොඩවත්තේ සිට හංවැල්ල තෙක් දිවෙන පාරට කියන්නේ පරණ පාර කියාය. ඔරුගොඩවත්ත හන්දියේ මේ පාර ආරම්භයේ බෝ ගසක් ඇති අතර මෙම පාර අවසන් වන්නේ හයිලෙවල් පාරත් මේ කියන ලෝලෙවල් පාරත් එක්වන පහත්ගම වයි හන්දියේ ඇති බෝගසකිනි. ඔරුගොඩවත්ත දෙස සිට වැල්ලම්පිටිය දෙසට යන විට මුලින්ම හමුවන්නේ ගුවන් පාලමකි. මේ පාලමට ගොඩ නොවී ප්‍රධාන මාර්ගයේ යන විට රේල්පාර හමු වේ. රේල්පාරට සමාන්තරව වම් පැත්තට ඇත්තේ ගුරු පාරකි. එහි සෑහෙන දුරක් ගියවිට රේල් පීලි ගණනාවකට පසු ඇත්තේ කඳුගැට පේළියකි.

අප මෙහි යන විට මේ කඳුගැට පේළියේ සුදු කොඩි දමා තිබුණි. කන්ද නැග ඇවිද කන්ද බැස ගියේ අවමංගල්‍යයකට සූදානම් වන කුඩා නිවෙසකට. අප මේ ආවේ වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ අනතුරකින් මියගිය ෂෙහන්සා නෙත්සරනි නමැති හය හැවිරිදි දැරියගේ නිවෙසටය.

අප නිවෙසට යන විටත් ෂෙහන්සාගේ මව පැමිණ සිටියේ නැත. ඇය මීට මාස 14කට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගියේ තම දරු තිදෙනාගේ අනාගතය යහපත් කිරීමට විය යුතුය. ෂෙහන්සාගේ ලොකු අයියා සවිඳු සුවහස්ය. පොඩි අයියා, සදෙව් සුලක්කන ය. මේ තිදෙනා බලා ගත්තේ මොවුන්ගේ ආච්චි අම්මා විසිනි. සති කීපයක් ආච්චි අම්මාට අසනීප නිසා ෂෙහන්සා ජීවත් වූයේ තම අම්මාගේ නැගණිය නොහොත් පුංචි අම්මාගේ ගෙදරය. ඒ තම නිවෙසට ගෙවල් කීපයක් එහාය.

ෂෙහන්සාගේ පුංචි අම්මාගේ සැමියා සම්පත් ජයශාන්තය. ෂෙහන්සාගේ ජීවිතයේ අවසන් රාත්‍රිය වූ පසුගිය නොවැම්බර් 14 වැනිදා ගැන මතකය අප සමඟ අලුත් කර ගත්තේය.

“අඟහරුවාදා පන්ති ඉවර වෙලා එනකොට රෑ හතට විතර ඇති. පුංචි අම්මේ බඩ රිදෙනවා කියාගෙන ආවා. ගෙදර නූඩ්ල්ස් හදල තිබුණා. බඩ රිදෙන නිසා දුන්නේ නෑ. බිස්කට් එකක් කාලා තේ බිව්වා.”

සම්පත් කියන්නේ ෂෙහන්සා දියණිය උදේ හයට නැඟිට සම්පත්ගේ දරුවන් තිදෙනා ද නැඟිට්ටවන බවය.

“නොවැම්බර් 15 වැනිදා ෂෙහන්සාගේ හයවැනි උපන් දිනේ. එයාගේ අම්මා ෂෙහන්සා මොන්ටිසෝරි යන කාලේවත් උපන් දිනේ දවසට මොන්ටිසෝරි යවන්නේ නෑ. අම්මා ලංකාවේ නැති නිසා ආච්චි භාරකාරයා හැටියට ඔය වේරගොඩ ඉස්කෝලෙට ඇතුළු කළේ.”

සම්පත් කියන්නේ ෂෙහන්සා ආච්චි අම්මා සමඟ සිටියා නම් කීයටවත් උපන් දිනය දවසේ ඉස්කෝලෙ යවන්නේ නැති බවය.

“මගේ නෝනා ඒ කියන්නෙ ෂෙහන්සාගේ පුංචි අම්මට ඉස්කෝලෙට යන්න ඉස්සෙල්ල කිව්වා පුංචි මට උපන්දිනේට තෑග්ගක් අරන් තියන්න කියලා. මට කිව්වා සම්පත් බාප්පේ හවසට ඇවිල්ල ඔයාට මම බර්ත්ඩේ කේක් කවනවා කියලා. කලින් දවසේ බඩේ අමාරුවට අසමෝදගම් දුන්න හින්ද නූඩ්ල්ස් දුන්නෑ. ඒකට කෙල්ල හිත හොඳ නැතුව හිටියේ. ඉස්කෝලේ යන්න ඉස්සෙල්ල කිව්වා රෑට ෆ්‍රිජ් එකේ දාපු බත් එක දවල්ට ඇවිල්ල කනවා කියලා.”

ෂෙහන්සා බදාදා එළිවැටීමටත් පෙර නැඟිට නිවෙසේ ඉදිරියේ ඇති ගස්වල වසා ඇති කුරුල්ලන් දෙස ආසාවෙන් බලා සිට ඇත.

“මං ඊයේ හීනෙන් දැක්කා මං කුරුල්ලෙක් වෙලා ඉස්කෝලෙ උඩින් පියාඹ ගෙන යනවා” ෂෙහන්සා පවසා ඇත්තේ කුරුල්ලෙක් දෙස බලාගෙනය.

ෂෙහන්සා අවසන් වතාවට ද ඉස්කෝලෙ ගියේ තම පොඩි අයියා වූ සදෙව් සුලක්කනගේ අතින් අල්ලාගෙනය. ඒ අයියා ඉගෙන ගන්නේත් ෂෙහන්සාට ඉහළ පන්තියේ එම පාසලේමය.

ෂෙහන්සාගේ ලොකු අයියා සවිඳු සුවහස්ය. ඔහු ඉගෙන ගන්නේත් වෙහෙරගොඩ විද්‍යාලයේමය.

“ආච්චි තමයි අපිව බලා ගත්තේ. පසුගිය සති දෙකේ ආච්චි හිටියේ ඉස්පිරිතාලේ. ඒකයි නංගි පුංචිලාගේ ගෙදර හිටියේ. පුංචිට ඉන්නේත් දුවල දෙන්නෙක්. කලින් දවසේ නංගිව ඉස්කෝලෙන් එක්කං ආවේ මම. ටීචර්ට කිව්වා මිස්ට මම හෙට කේක් ගේනවා කියලා. නංගිට දෙන්න ආච්චි ගවුමක් උපන්දිනේට තියන් හිටියා.”

“අපේ නංගි හරි පැහිච්ච ආච්චි කෙනෙක්. ඕන කෙනෙක් එක්ක කතා කරනවා.”

සවිඳු කියන්නේ තමන් ඩාන්සින් ක්ලාස් ගොස් ගෙදරදි නැටුම් රියසල් කරන විට නංගි ඒවා හොරෙන් බලා සිට තමන්ට වැඩිය හොඳට නැටූ බවය.

“මම නායකත්ව පුහුණුවකට ගිහින් හිටිය. මම එනකම්ම මගේ කලිසමක් ඇඳගෙන අයියා එනකම් කියලා හිටියා. නංගිට වගේ පිරිත් කියන්න කාටවත් බෑ. හැමදාම පන්සල් යනවා. නංගි පිරිත් කියන හැටි බලන් ඉඳල නායක හාමුදුරුවොත් පුදුම වුණ. අන්තිම දවසේ පුංචිගේ ගෙදරට බැස්සුවාම පරිස්සමින් ඉන්න – බායි – බායි කියල ඔය පැහිච්ච ආච්චි මට දණගහල වැන්දා.”

වැලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ විදුහල්පතිවරයා වන්නේ සුසන්ත කරුණාරත්නය. ෂෙහන්සාගේ මෙන්ම විදුහල්පතිතුමාගේත් උපන්දිනය යෙදී තිබුණේ එකම දවසකය. අප විදුහල්පතිතුමාට කතා කරන විට ඔහු සිටියේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ගනිමිනි. ඒත් අපි එහි යන විට හදිසි අනතුරු වාට්ටුවෙන් ඔහුව අක්ෂි රෝහල වෙත මාරුකොට තිබුණේ මේ සිදුවීමෙන් පසු පාසලට කිසිදු සම්බන්ධයක් නැති මැර පිරිසක් පහරදීම නිසාය. සුසන්ත කරුණාරත්න විදුහල්පතිතුමා අප සමඟ කතාබහට එක්වූයේ ඉතා සුහදවය.

“ෂෙහන්සා දුවගෙයි ප්‍රින්සිපල් මහත්තයගෙයි උපන්දිනේ එකම දවසේ නිසා කේක් කපල ඒ දුවට කේක් කෑල්ලකුත් කවපු හින්ද දැන් ඉතින් මේ වෙච්ච දේ ගැන ලොකු දුකක් ඇති නේද?”

මොන කේක් ද… මං නං උපන්දිනේට කේක් කපන්නෙත් නෑ. ඔය මැරිච්ච දරුවගේ අයියල දෙන්නත් මගේ ඉස්කෝලේ තමයි. ඒ දරුවගේ උපන්දිනේ කියල මං දන්නෙත් නැහැ.

“එතකොට මොකක්ද මෙතැන වුණේ.”

“මං කවදාවත් උපන්දිනේට කේක් කපන්නේ නෑ. උදේ ඉස්කෝලේ බුදු මැඳුරට කිරි ආහාර පූජාවක් තිබ්බා. ඉස්කෝලේ උගන්වන ස්වාමීන් වහන්සේලා දෙනමට හීල් දානයක් දුන්නා. ඊට පස්සේ ගුරු මණ්ඩලයට කිරිබත් දුන්නා.”

“එතකොට උපන් දිනේට ළමයින්ට ටොපි, චොක්ලට්, ලොලිපොප් එහෙමත් දුන්නද?”

“එතකොට උපන් දිනේට ළමයින්ට ටොපි, චොක්ලට්, ලොලිපොප් එහෙමත් දුන්නද?”

“අනේ නැහැ. ඔය අපේ ඉස්කෝලේ උයන්න එන කාන්තාවක් සමහර වෙලාවට ඔව්වා පන්තිවලට ගිහින් විකුණනවා. ඒක පටලවාගෙන.”

“එතකොට ෂෙහන්සාගේ උපන්දිනේ කියලා දැන ගත්තේ කොහොමද?”

“මේ සිද්ධිය වුණේ උදේ දහයහමාරට ඉන්ටවල් එකේ. මේ සිද්ධියෙන් පස්සේ මට අමානුෂික විදිහට පහර දුන්නා, ඉස්කෝලෙට සම්බන්ධයක් නැති පිරිසක්. මම ආරක්ෂාවට උඩ තට්ටුවේ පන්තියට පැන ගත්තා. එතැන්ට ආපු ගුරුවරියො අඬන්න පටන් ගත්තා අද ෂෙහන්සාගේ උපන් දිනේ කියලා. එතකොටයි මම ඒ ළමයාගේ උපන්දිනේ කියලා දැන ගත්තේ.”

විදුහල්පතිවරයා කියන්නේ මේ සිද්ධියෙන් පසු පිරිසක් තාප්පෙන් පැන ළමයින්ව ඔසවා ගේට්ටුවෙන් එළියට බලහත්කාරයෙන් ගත් බවය. පසුව ඔවුන් ගේට්ටුවේ ඉබ්බා කඩා පාසල් භූමියට ඇතුළු වී ඇත.

“අපි කියල තියෙන්නේ වතුර බෝතල්වලට අරන් බොන්න කියලා. මේ ෂෙහන්සා ගිහිල්ල තියෙන්නේ කන්න අත හෝදා ගන්න.”

මම එම පාසලට ගිය මොහොත මතක් විය. පෙරළුණු කොන්ක්‍රීට් පදාසය සහිත ටැම් පෙළත් ඇගේ පන්තියත් අතර මීටර් තුනක්වත් දුරක් නැත. පන්තියේ දැලෙන් බැලූ විට ෂෙහන්සාගේ මේසය මට දැකගත හැකි විය. ඇය අත සෝදාගෙන ඒමට ගොස් තිබුණේ කෑම පෙට්ටිය ඇරීමෙන් පසුවය. එහි තිබූ පාන් පෙති අප යන විටත් කූඹින්ගෙන් පිරී තිබුණි. ඇගේ පොත් බෑගය කුඩා පුටුවේ එල්ලා තිබූ අතර, ඇය අකුරු කෙරූ අභ්‍යාස පොත් අසරණ ලෙස අප දෙස බලා සිටියේ ෂෙහන්සා නැවත කවදා ඒදැයි බලාපොරොත්තු සහිතව බලා සිටින්නාක් මෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: