hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 9:53



තලංගම පැලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක අබිරහස් අන්දමින් ඝාතනය කර සිටි මනෝ උපදේශිකාවකගේ සිරුර තලංගම පොලිසිය මගින් ඊයේ (04) උදෑසන සොයාගෙන තිබෙනවා.

පොලිසිය සැකකරන්නේ මෙම මනෝ උපදේශිකාව ඝාතනය කර ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවයි.

ඝාතනයට ලක්වූ 53 හැවිරිදි සුජාතා මුණසිංහ මානාභරණ මහත්මියගේ ගෙල වටා නයිලෝන් ලණුවක් තිබූ අතර ඇගේ ගෙල සිරකළ බවට සලකුණු රැසක් තිබෙන බව ද පොලිසිය පවසනවා.

සුජාතා මුණසිංහ මහත්මිය තවත් පුද්ගලයකු සමග දින 05 ක් තිස්සේ මෙම හෝටල් කාමරයේ නවාතැන්ගෙන සිට ඇත.

ඔවුන් එම කාලසීමාව තුළදී රාත්‍රි කාලයේ මෙම හෝටල් කාමරය වෙත පැමිණෙන බවද රැය පහන් වනතුරු එහි රැඳී සිටින බවද විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

ඊයේ උදෑසන මෙම කාමරයේ දොර විවෘත නොකිරීම නිසා හෝටල් සේවකයන් එය විවෘත කර බලද්දී සුජාතා මුණසිංහ මහත්මිය එහි වැටී සිට ඇත.

1977 යනුවෙන් ඇය ඇගේ හැඳුනුම්පත් අංකය එහි සිටි මුදල් අයකැමියා වෙත සඳහන් කොට තිබුණත් පොලිසිය සැක කරන්නෙ එය ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් බවයි.

එසේම ඇය විසින් උපදේශන පැවැත්වූ අවස්ථාවන්හි ඡායාරූප, පුවපත් ආදියත් ලැගුම්හලේ තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.

ඡායාරූප අන්තර්ජාලයෙන්

මේ අතර, අදාළ ඝාතනය සිදු කළා යැයි සැක කෙරෙන පුද්ගලයෙකු විසින් ලියා තිබූ ලිපියක් ද හෝටල් කාමරය තුළින් හමුවූ බැව් වාර්තා වනවා.

පිටු පහකින් සමන්විත මේ ලිපිය ලියූ තැනැත්තා සඳහන් කර තිබුණේ මනෝ විද්‍යාඥවරියගේ ඝාතනයට තමන් සීයකට සීයක් වගකිව යුතු බවයි.

එසේම ඝාතනයට අදාළව ලබාදෙන ඕනෑම දඬුවමකට තමන් යටත් වෙන බැව් ඔහු එම ලිපියේ සඳහන් කොට තිබුණා.

අදාළ ලිපියෙන් කොටසක් පහතින්…

‘ගරු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරිතුමන්ලාගේ දැනුවත් වීම පිණිසයි…

ගරු මහත්මයාණනී, මහේෂ් අසංක සොයිසා වන මම – – – සහ මගේ උතුම් ගෞරවණිය බිරිඳ වන සුජාතවගේ මරණ සඳහා සෘජුවම වග කිව යුත්තා සහ වැරදිකරු මම වෙමි. මේ සිදු කළ දේ මා විසින් සිදු කළේ සීයට සීයක්ම පරම පවිටු උතුම්ම චේතනාවෙන් පමණි. කිමද ඇය මේ ලෝකයේ තවදුරටත් දුක් වේදනා තාඩන පීඩන විඳිනවා මා හට බලා සිටිය නොහැකි නිසාවෙනි. නමුත් මේ සඳහාද සීයට සීයක්ම නීතියෙන් සහ පාපයෙන් යන දෙකෙන්ම මොලොව පරලොව වශයෙන්ම මා හට දඬුවම් ලැබිය යුතුය. මොකද මේ තත්ත්වයට පත් වීමට ද ප්‍රධානම හේතුවක් වන්නේ මාගේ වැරදි ක්‍රියාකලාපයන් හා මගේ වැරදි ජීවන රටාවයි. – – – වන මා අවසානයේ පෙම්වතිය ලෙස ජීවත් වූ පෙම්වතියගේ මරණය සිදු කළේ මමය. එයද මා පිළිගනිමි. නමුත් ඒ සඳහා මා හට සාධාරණ හේතු සාධකයක් තිබුණි. නමුත් ඒ හේතුව මටම පමණක් සාධාරණීකරණය වන හේතුවක්ම පමණී. නීතියට හෝ පාපයට ඒ කිසිවක් සාධාරණීකරණය වන්නෙ නැත. ඒ වගේම තවත් තුන්දෙනෙකුගේ මරණයන් සිදු කර ඉන්පසු මාද සියදිවි නසා ගැනීමේ චේතනාව මා සිත තුළ 2023/08/28 දින තෙක්ම හදවතේ ඉතාම දරුණුවටම කැකෑරෙමින් තිබුණි.’

එසේම අද (05) දිනයේ තමන් සිය වැරදි පිළිගනිමින් පොලිසියට භාර වෙන බැව් ද ඝාතනය සිදු කළා යැයි සැක පුද්ගලයා අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙම හෝටලයේ සීසීටීවී කැමරා සවිකර තිබුණ ද කාලයක සිට ඒවා අක්‍රියව පැවැති බව පොලිසිය පවසයි.

තලංගම පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: