hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:01



මීට වසර තුන – හතරකට විතර පෙරදී ගිහි ජීවිතයේ දී ඔහු අපට හමුවූයේ මංජු තේනුවර නමිනි.

සිරසෙ ‘‘මංජු’’ කී පමණින් හොඳටෝම ප්‍රමාණවත් වූයේ නිවේදකයකු ලෙස ලබා සිටි ජනප්‍රියත්වය නිසාය.

සිරසේ වැඩසටහන් කළමනාකාරවරයකු සහ නිවේදකයකු ලෙස එදා අපට ඔහු හමුවූයේ ඉන්සයිඩ් ස්පෝට්ස්, අවර් චැම්පියන් සහ සංගීත වැඩසටහන් නිවේදකයකු ලෙසය.

ලන්ච් ටයිම් ටී.වී. ඉන් එකකි. එලෙසින් එදා අපට හමුවූ මංජු තේනුවර යනු අදට වලංගු නාමයක් නොවේ.

මක් නිසාද යත් එදා ගිහි ජීවිතයේ සිටි ඔහු අද අපට හමුවන්නේ මාතර විජයසීහ හිමි ලෙස පැවිදි දිවියට ඇතුළත්ව සිටින බුද්ධ පුත්‍රයකු ලෙසය.

සිල්වත්, ගුණවත්, චරිතවත් තරුණ භික්‍ෂුවක ලෙස තරුණ සමාජයේ මෙන්ම වැඩිහිටි සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රකටව සිටින මාතර විජයසීහ හිමි සමග ජීවිතයට වැදගත් වූ කරුණු කාරණා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ මෙසේ සඳහන් කලා.

පැවිදි ජීවිතයට එළැඹි පසු ජීවිතය දැනෙන්නෙ කොහොමද? එදා ගිහි ජීවිතය ගෙවූ විදිය ගැන අද හිතෙන්නෙ කොහොමද?

“ගිහි ජීවිතය මහා ගිනි ගොඩක් කියලා හරියටම දැනෙන්නෙ මේ පැවිදි ජීවිතයෙ ගත කරන විටදියි. ගිහි ජීවිතයේ දී සෑම කෙනෙකුටම උදේ පාන්දර අවදිවන්න සිද්ධ වෙන්නෙ ඔළුවට මහා බරක් දරාගෙන. රැකියාවේ බර, දරුවන්ගෙ, බිරිඳගෙ වගකීම්, මව්පියන්ගෙ, සහෝදර සහෝදරියන් වෙනුවෙන් වූ බර, මේ වගේ බොහෝ දේ ඔළුවට බරක්. හැබයි මේ පැවිදි ජීවිතයේ දී උදේට මට තියෙන්නෙ මනස ඉතාම නිරවුල් වූ පිබිදීමක්. ණයක් ගන්නෙ කොහොමද? ගේ හදා ගන්නෙ කොහොමද? ණය ගෙවන්නෙ කොහොමද? ටාගට් එක මොකක්ද? කියන ගිහි ජීවිතය හා බැඳී ඇති පීඩනය මට නැහැ. ගිහි ජීවිතයේ දී මොනම හෝ අභියෝග – ප්‍රශ්න තියෙනවා. එදා මම රැකියා කළ කාලයේ දී ඇයි මම එච්චර ඉලක්ක දරාගෙන මහන්සි වුණේ කියලා අද මට හිතෙනවා. මනුෂ්‍ය ජීවිතයේ දිග – පළල හරියටම දැනෙන්න ගත්තෙ පැවිදි ජීවිතයට ආ පසුවයි. ඉපදි ඉපදි, මැරි මැරි මේ සංසාරේ මේ ගමන යන්න වෙනවා නම්, සැම දෙයක්ම වලංගු වන්නෙ අපි ජීවත්ව සිටින කාලයේ දී කළ කී දේ විතරමයි. එතැනින් පස්සෙ ඒ පුද්ගලයා නැහැ.

‘‘හුස්ම’’ ටිකක් එක්කනෙ මේ සෑම දෙයක්ම සිදුවන්නෙ. ඒ හුස්ම ටික එක්ක සෑම දෙයක්ම එකතු කරගෙන ගොඩ ගහගෙන යනවා නම්, ඒක අඥාන ක්‍රියාවක්. හැබයි දැන් මම එකතුකර ගන්නෙ ඉදිරි ආත්මවලට අවශ්‍ය වූ ලෝකෝත්තර ජීවිතය වෙනුවෙන්. ඉදිරියේ දී මම ඉපදෙන්නෙ කොහෙද? ඒ ඉපදෙන තැන සුගතිගාමී විය යුතුයි. නිර්වාණයට යා හැකි, නිර්වාණය අවබෝධ කරගත් ආත්මයක් විය යුතුයි. මේ වෑයම ඒ ගමනට සමීපවීම වෙනුවෙන්. ගිහි ජීවිතය ගත කරද්දී නිස්කාරණව මම ජීවිතය ගත කළාය කියලා අද මට හිතෙනවා. කොච්චර සල්ලි තිබුණත්, දේපොළ තිබුණත්, ජනප්‍රිය වුණත්, ඒක තාවකාලික වින්දනයක් විතරයි. හැබැයි පැවිදි ජීවිතයේ දී මම හම්බකරගත් දේ ඊළඟ ආත්මයක්, ආත්මයක් පාසා නිර්වාණය දක්වා මට රැගෙන යන්න පුළුවන්. ගිහි ජීවිතය ඉතාම දුක්ඛිත තැනක් කියලා මට හරියටම වැටහුණේ මේ පැවිදි ජීවිතයට ආ පසුවයි. සරල බර නැති, මනසට – කයට සැහැල්ලුවක් දැනෙන ජීවිතයක් තමයි දැන් ගත කරන්නෙ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: