hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 2:26



ප්‍රතිඵල ප්‍රකාශයට පත් මෙවර උසස් පෙළ කලා අංශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයේ පසුවන ගෙළිඔය එච්.ඒ.තිවංක රණබාහු සිසුවා විසින් හිමිකර ගනු ලැබ තිබෙනවා.

උසස් පෙළට සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය හා ජනසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයන් වලට පෙනී සිටි තිවංක ඒ සාමාර්ථ තුනක් සමඟින් විභාගය සමත්ව තිබෙන අතර දිවයිනේ 75 වැනි ස්ථානය ඔහුට හිමිව තිබෙනවා.

ගෙළිඔය ශ්‍රී ප්‍රඤ්ඤාරතන මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන තිවංක ගේ දෑස් අන්ධ වී ඇත්තේ ඔහු  10 වැනි වසර පංතියේ  තෙවන වාරයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටියදීයි.

උපත ලැබ මාස තුනේ දී තිවංකගේ පියා හෘදයාබාධයක් හේතුවෙන් මෙළොව හැරගොස් ඇත.

අනතුරුව ඔහුගේ සියලු කටයුතු සිදු කරනු ලැබ ඇත්තේ දැනට 43 වැනි වියේ පසුවන මව විසින්.

අවුරුදු 15 දී හදිසියේම දෑස් අන්ධ තත්ත්වයට පත්වූ තිවංක ඉන් පසු අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබ ඇත්තේ දිවියේ සෙවනැල්ල වූ මව වන නිරෝෂනි සූජිවා කුමාරිගේ උදව්වෙන්.

“අම්මා විෂය කරුණු හා ප්‍රශ්න කියවන කොට මම අහගෙන හිටියා. ඊට පස්ස් මම ඒවට කියන උත්තර අම්මා ලිව්වා. දෑස් දෙකම පෙනෙමින් සිටියදී එක පාරටම අන්ධ වූ මට සාමාන්‍ය පෙළ විභාගය ලිවීම අභියෝගයක් වුණා. සාමාන්‍ය පෙළ විභාගයේ දී ගුරුවරු දෙන්නෙක් මට ප්‍රශ්න පත්‍රය කියෙව්වා. ඒක අහලා මම පිළිතුරු දුන්නම තවත් ගුරුවරියක් ඒක ලිව්වා. ඒ විදිහට ලියලා මට ඒ සාමාර්ථ 04 ක් බී සමාර්ථ 03 හා සී සමාර්ථ 03 ක් ලබා ගත්තා. සිංහල, ඉතිහාසය, බුද්ධාගම හා සංගීතයට ඒ සාමාර්ථ ලබා ගත්තා.

පසුව උසස් පෙළ විභාගයේ දී විෂය කරුණු ආවරණය කර ගත්තේ බොහොම ආමාරුවෙන්. ඇස් වලට ප්‍රතිකාර ලබා ගන්නා නිසා වසරක් පමණ පාසල් යාමට අපහසු වුණා. මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කළ වැඩසටහන් මගින් තමයි විෂය කරුණු ආවරණය කර ගත්තේ. මාස 05 ක් පමණයි උසස් පෙළට පාසල් ගියේ. ඒ පංති වල ලබාදෙන නිබන්ධන අම්මා මට ඇහෙන්න කියෙව්වා. ඊට පස්සෙ මම ලබාදෙන  පිළිතුරු ඇය ලිව්වා. ඇත්තටම මාත් එක්ක උසස් පෙළට අම්මත් ලිව්වා කිව්වොත් නිවැරදියි. අම්මාගේ මහන්සිය අපතේ නොයන ප්‍රතිපලයක්  ඇයට ලබා දෙන්න ඕන කියලා මම හැම වෙලාවෙම හිතුවා. විභාගයට පෙනී සිටියාට පසු ඒ සමාර්ථ තුනක් ලැබෙයි කියන විශ්වාසය තිබුණා. ඒත් මහනුවර දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ.” තිවංක එසේ පවසා සිටියා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විනිවිද කථන ග්‍රන්ථ වැඩසටහන මගින්ද තමන් ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල සහයක් ලැබුණු බව ඔහු පවසනවා.

තම දෙනෙත් හදිසියේම නොපෙනී ගියේ ඇයිද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරු පවා නිශ්චිත හේතුවක් නොදැක් වූ බව තිවංක පවසයි. 

මස්තිෂ්ක සුසුම්නා තරළයේ පීඩනය වැඩිවීමකින් ඇස් නොපෙනී ගොස් තිබෙන බවත් එසේ සිදුවූයේ ඇයිද යන්න සම්බන්ධයෙන්  හේතුවක් දක්වා නොමැති බවත් ඔහු සඳහන් කළා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ ආචාර්ය මණ්ඩලයට එක්ව ඉදිරියේ දී මහාචාර්යවරයෙකු කටයුතු කිරීමත් පුද්ගලික ආයතනයක සංගීත ආචාර්යවරියකද වන මවගේ සහයද ලබා ගනිමින් රටට වැඩදායක පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමත් තම අරමුණ බව තිවංක පැවසුවා.                                                                                                             

ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කරමඩ වේළුවනාරාමාධිපති පූජ්‍ය ගලහා සිරි ශාන්ත හිමි මෙම සිසුවා සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

“මේ දරුවා කුඩා කාලයේ සිටම ඉගෙනුමට ඉතා දක්ෂයි. පාසලේ මෙන්ම දහම් පාසලේ ශිෂ්‍ය නායකයකු වශයෙන් කටයුතු කළා. රජයේ පාසලක කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවය කරන මේ දරුවාගේ මව ඉතාමත් කැපවීමෙන් කටයුතු කරලා තමයි දරුවා මේ තත්ත්වයට ගෙනාවේ. ඔහුගේ එකම බලාපොරොත්තුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා මහාචාර්යවරයකු වීමයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපේ රටේ අඩුයි. ඒ නිසා මේ දරුවා ඉන්දියාව වැනි රටකට යවා අවශ්‍ය පහසුකම් සලසා දීමට අදාළ වගකිව යුතු අංශ කටයුතු කළ යුතුයි. ඒ සඳහා උදව් කළ හැකි පින්වතුන් ඉදිරිපත් වේ යැයි කියා අප සිතනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: