hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 12:06



හැමෝම තමන්ගෙ ප්‍රතිඵලය පවුලේ අය සහ හිතවතුන් එක්ක බෙදාගනිද්දි, ඇතුගල්පුර විහඟනාගේ පවුලේ අය සහ හිතවතුන් නිකුත් වූ ප්‍රතිඵලයේ අයිතිකාරිය නැතිව, දුක් වෙන්නද සතුටු වෙන්නද කියලා හිතාගන්න බැරිව ළතවෙනවා.

විහඟනා නුවන්මිණි ආරියසිංහ… ඔව් ඇය තමයි තවත් ජීවිත හතකට ජීවත් වෙන්න දිරි දී මෙලොව හැර ගිය කිරිල්ලිය.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී සිටියා.

අවාසනාවක තරම කියන්නෙ, ඇයට සිය මහන්සියේ ප්‍රතිඵලය විඳගන්නත් නොතියාම ඉරණම් ගමන යන්න වුණ.

හදිසි රෝගී තත්ත්වයකින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය, මාර්තු 22 වැනිදා මෙලොව හැර ගියේ මොළය මිය යෑම හේතුවෙන් මාරයාටම දිනුම අත්කර දෙමින්.

එහෙම ජීවිතය හැරගිය ඇය මෙවර උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වන්නේ වාණිජ අංශයෙන් A සමාර්ථ තුනක් හිමි කරගැනීමෙන්.

ඒ විතරක් නෙවෙයි ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 වැනි ස්ථානයත්, දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමිකරගෙන. ඇයට හිමි ඉසෙඩ් අගය 1.7ක්.

“අනිත් දුවලා විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවාම එයාලගේ අම්මලා තාත්තලා වගේ අපිත් ඒක සතුටින් සමරන්න හිටියා…. ඒත් ඒ වාසනාව අපට අහිමි වුණා… ඒත් අපි දන්නවා, අපේ දුව කර ගත්ත ඒ උතුම් පින්කම නිසා එයා කොතැනක හරි සතුටින් එයාගේ විභාග ප්‍රතිඵලය දැකලා අපිත් එක්ක අනෙක් හැමදෙනාම එයාට කරන ආශීර්වාද දිහා බලාගෙන ඇති කියලා…” යනුවෙන් විහඟනාගේ මව්පියෝ නෙතට කඳුළු එක් කරමින් පැවසුවා.

පියා උපුල් ආරියසිංහ මහතා නෙතට ආ කඳුළු තද කර ගනිමින් මෙලෙස පැවැසූවා.

“අපි ආදරේට දුවට කිව්වේ බට්ටි කියලා… දුව විභාගෙ ලියලා ආවට පස්සේ නිතරම වගේ කිව්වේ ඔන්න බලන්නකෝ මම විභාගෙ ඉහළින්ම පාස්වෙනවා…. මම පේරාදෙණිය කැම්පස් එකට යනවා… ගිහින් හොඳට විභාග පාස් වෙලා බැංකුවක ජොබ් එකක් කරන්න තමයි ආස කියලා… අනේ අපිත් හරි කැමැත්තෙන් හිටියේ දුවගේ ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනකල්… ඒත් ඉතින් එයා අරගෙන ආ ආයුෂ එච්චර තමයි… මගේ දුව නිසා තවත් හත් දෙනෙක් ජීවත් වෙලා ඉන්න එක අපිට සතුටක්… ඒ පිනම ඇති මගේ බට්ටි දුවට මතු සංසාරයේදී මේ වගේ හදිසි විපතක් නොවෙන්න… අනේ එයා මේ හැම දෙයක්ම බලාගෙන සතුටින් ඇති කියලා මම හිතනවා… දුව ගොඩක් පින්කම් කරන්න කැමැතියි. එයා නැති වෙන්න කලින් සඳහිරු සෑයේ පින්කමකටත් එකතු වෙලා තමයි ආවේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: