hit counter

2024 දෙසැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2024 ජූනි 19, ප.ව. 12:15


නතාෂා සහ බෲනෝ බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවලින් නිදහස්

බුදුදහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළ නඩුවෙන් ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs හිමිකරු බෲනෝ දිවාකර නිදහස් කර තිබෙනවා.

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඉකුත් වසරේ සිදුකළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාසයක් සිදුකර ඇති බවට වන චෝදනාවලිනි.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු නොපවරන බව ද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉකුත් වසරේ අප්‍රේල් මස කොළඹදී පැවති ‘මෝඩාභිමානය’ නමැති වැඩසටහනකදී ඇය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

2023 වසරේ මැයි මස 27 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර දෙමසකට ආසන්න කාලයක් ඇයට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු වුණා.

නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ පසුගිය වසරේ ජූලි 5 වැනිදායි.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ, ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම්දීමෙන් පසුවයි.

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න එම අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් වන අතර ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදුදහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවය.

කෙසේවෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා එදින අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක් මතුවීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතනවලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අවධාරණය කර තිබිණි.

කෙසේවෙතත් සැකකාරිය තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

එහිදී ඇප තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණ නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එම අවස්ථාවේ නියෝග කර තිබිණි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: