hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:17



පසුගිය පාලන සමයන්හිදී දැවැන්ත ලෙස පාඩු ලබමින් පැවති ලංකා සතොස ආයතනයේ අලෙවිසැල් 250ක් අතරින් 50ක්ම පසුගිය මාස දෙකක කාලය තුළ ලාභ ලබන තත්ත්වයට පරිවර්තනය කිරීමට වත්මන් පාලනාධිකාරිය සමත්ව ඇති බවත්, එළැඹෙන දෙසැම්බර් මාසය වන විට මුළුමනින්ම ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් බවට සතොස පත්කරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ලංකා සතොස ආයතනය වෙනුවෙන් අලුතින් බඳවාගත් සේවක සේවිකාවන් 47 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹදී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“2024 වසරේදී අපි ලංකා සතොස භාරගන්නා විට එහි සමස්ත අලාභය රුපියල් මිලියන 22,000ක් (බිලියන 22ක්). ඇතැම් පිරිස් දැන් කතා කරන්නේ ඒ පාඩුව කළේ මම වගේ. නමුත් ඇත්ත කතාව නම්, පසුගිය දේශපාලකයන් සහ හිටපු පාලනාධිකාරිය තමයි සතොස මෙතැනට ඇද දැම්මේ. සතොස සතුව තිබූ රුපියල් මිලියන 5,300ක දැවැන්ත බැංකු අයිරාව (Overdraft) පියවා එය බේරාගත්තේ අපේ රජයයි. දැන් අපේ ඉලක්කය වන්නේ එළැඹෙන දෙසැම්බර් මාසය වන විට සතොස පාඩු ලබන යුගය මුළුමනින්ම අවසන් කර, එය ලාභ ලබන තැනට ඔසවා තැබීමයි.”

පසුගිය කාලයේ සතොස බිඳවැටීමට ප්‍රධානතම හේතුව දේශපාලන මැදිහත්වීම් බව පෙන්වා දුන් වසන්ත සමරසිංහ මහතා, හිටපු මැති ඇමැතිවරුන් සතොසින් සිය නිවෙස්වලට පවා නොමිලේ භාණ්ඩ පැටවූ බවත්, තමන්ගේ හිතවතුන්ගේ සහ පෞද්ගලික ගොඩනැඟිලිවලට කුලී මුදල් ගෙවමින් නගරයෙන් බොහෝ ඈත ප්‍රදේශවල අසාර්ථක සතොස ශාඛා විවෘත කළ බවත් පැවසීය. සතොස විනාශ කළ එවක මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට අද වන විට අධිකරණය සහ බන්ධනාගාරය හමුවේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඒ නිසා බවද හෙතෙම අවධාරණය කළේය.

සතොස ආයතනය ඇතැම් සැපයුම්කරුවන් විසින් කුණු බක්කියක් සේ සලකා කටයුතු කළ යුගය අවසන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, හොඳ සාම්පල් පෙන්වා පසුව ගබඩාවලට නරක් වූ සහ ප්‍රමිතියෙන් තොර බාල භාණ්ඩ සැපයූ සියලු සැපයුම්කරුවන් අසාදු ලේඛනගත  කිරීමට නියෝග කළ බව සඳහන් කළේය.

ලංකා සතොස යනු හුදු තවත් එක් රජයේ ආයතනයක් පමණක් නොව, පෞද්ගලික අංශයේ ඒකාධිකාරී වෙළෙඳ මාෆියාවන් පාලනය කරමින් රටේ බඩු මිල තීරණය කිරීම සඳහා රජය සතු ප්‍රබලතම යාන්ත්‍රණය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සතොස වෙත පැමිණෙන පාරිභෝගිකයාට පරිප්පු, සීනි පමණක් නොව සියලු දෛනික අවශ්‍යතා එකම වහලක් යටින් සාධාරණ මිලට ලබාදීමට හැකිවන පරිදි ආයතනය නවීකරණය කරන ලෙසත්, සතොස යළි ගොඩනැගීමේ මෙහෙයුමට උපරිම කැපවීමෙන් දායක වන ලෙසත් අමාත්‍යවරයා නවක සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: