hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 31, ප.ව. 2:09



බත්, කොත්තු, ප්ලේන් ටී සහ කිරි තේ ඇතුළු ආහාරවල මිල ගණන් හෙට (01) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, ප්ලේන් ටී රුපියල් 5, කිරි තේ රුපියල් 10, කෙටි ආහාර (ෂෝර්ටීස්) රුපියල් 10කින් ඉහළ දමන බවයි, එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ නාසිගුරන් රුපියල් 25කින් ඉහළ දමන බවයි.

මේ අතර, වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ හෙට සිට මත්පැන්වලද මිල ඉහළ යන බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ එරන්ද කොඩිතුවක්කු මහතා ද පසුගියදා ප්‍රකාශ කළා.

එහිදී ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන මස 01 වනදා සිට උද්ධමනයට සාපේක්ෂව සුරාබදු සංශෝධනයක්ද සිදුකිරීමට නියමිත බවයි.

ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන නව බදු සංශෝධනයට අනුව භාණ්ඩ හා සේවා රැසක් සදහා සියයට 18 ක වැට් බද්ද පනවනු ලබයි.

එල්.පී. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, සූර්ය පැනල, ගෘහස්ථ සූර්යබල පද්ධති, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, ජංගම දුරකථන, සහ රසායනික පොහොර ඇතුලු‍ භාණ්ඩ වර්ග 95 ක් අලු‍තින් වැට් පැනවෙන භාණ්ඩ අතරට අයත් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් ඇතුලු‍ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයකට පනවා ඇති වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශයේ අවදානය යොමුවී තිබීම ද විශේෂත්වයක්.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා කියා සිටියේ, මෙම භාණ්ඩ වැට් බද්දට යටත් කිරීමෙන් සිදුවන බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි.

කෙසේවෙතත් විශේෂ වෙළද භාණ්ඩ බද්ද අයකෙරෙන භාණ්ඩ වර්ග 65 ක් සදහා වැට් බද්ද අය කෙරෙන්නේ නැහැ. ඒ අතරට සහල්, බඩඉරිඟු‍, බිත්තර, එළවළු තෙල්, මාළු, හාල්මැස්සන්, අර්තාපල්, රතු ළුෑණු, බී ළුෑණු, සුදු ළුෑණු, වටානා පරිප්පු, කඩල, මුං ඇට, වියළි මිරිස්, ටින් මාළු, සුදු සීනි, උම්බලකඩ, කරවල, නැවුම් මිදි හා දොඩම්, වියළි මිදි, ඇපල්, පොල්තෙල්, පාම් ඔයිල්, එළවළු තෙල්, යෝගට්, බටර්, මාගරින් සහ මුව ආවරණ ඇතුළු භාණ්ඩ 65ක් අයත්.

මාධ්‍ය හමුවට එක්වූ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මහතා කියා සිටියේ වැට් සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග උද්ධමනය ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: