hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06



මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමිකර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත් හැකි ඉක්මනින් බැංකු ගිණුමක් විවෘත කර ප්‍රතිලාභ හිමිකර ගන්නා ලෙසටයි එම මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ.

නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

එම අවස්ථාවට සහභාගි වෙමිනුයි සභාපති ජයන්ත විජේරත්න මහතා මේ බව සඳහන් කළේ.

පූර්ණ විනිවිදභාවකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීම අරමුණු කරගනිමින් ඇරඹි මෙම අස්වැසුම වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වැනිදා වනවිට, පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00ක මුදලක් ගෙවා අවසන් අතර ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල ගෙවීම් දෙසැම්බර් මාසය වනවිට ගෙවා අවසන් කිරීමට නියමිත බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රතිලාභීන් ලක්ෂ දෙකකට පමණ ගෙවීම් සිදුකිරීමට නොහැකිව ඇත්තේමේ වනතුරු ඔවුන් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් බවයි.

එබැවින් ඔවුන් ගිණුම් විවෘත කළ වහාම කිසිදු ගැටලුවකින් තොරව අදාළ ගෙවීම් සිදුකළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

තවද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කර තම ප්‍රදේශයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන ඕනෑම බැංකු ශාඛාවකින් අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම විවෘත කිරීමේ හැකියාව පවතී. අනතුරුව එම ගිණුම් විස්තර අදාළ බැංකුව විසින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.

ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි අස්වැසුම අයදුම්කරුවන්ට මාස 06ක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැකුව විසින් ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: