hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 1:02



කැනඩාවේ පුරවැසියකු වූ සික් ජාතික බෙදුම්වාදියකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාව සම්බන්ධ යයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් චෝදනා නැගීමත් සමග ඉන්දියාව සහ කැනඩාව අතර සබඳතා උණුසුම් අතට හැරුණා.

කැනේඩියානු අගමැතිවරයා විසින් මේ අයුරින් චෝදනා කරන ලද්දේ හර්දීප් සිං නිජ්ජර් නම් වූ පුද්ගලයාගේ ඝාතනය පිළිබඳවයි. සික් ජාතිකයන්ට ස්වාධීන රාජ්‍යයක් (කාලිස්ථානය​) ස්ථාපිත කිරීමේ බෙදුම්වාදී ව්‍යාපාරයෙහි ප්‍රබලයකු වූ ඔහු ඉන්දියාව විසින් සලකන ලද්දේ ත්‍රස්තවාදියකු ලෙසයි. පසුගිය ජූනි මාසයේදී ඔහු සික් දෙවොලක් අසළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබුණා.

මෙම ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බව චෝදනා කරමින් කැනඩාව ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට රටින් පිටවීමට නියෝග කළා.

කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ඉන්දියාව, කැනඩාවේ ක්‍රියාවට එකටෙක කිරීමක් වශයෙන් කැනේඩියානු රාජ්‍යතාන්ත්‍රිකයකු ද රටින් පිටමං කරන්නට ක්‍රියා කළා.

පසුගිය සමයේදී කාලිස්ථාන බෙදුම්වාදීන් කැනඩාවේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉන්දියාව විටින් විට සිය අප්‍රසාදය දක්වා තිබෙනවා. වරක් ඔවුන් හිටපු අගමැතිණි ඉන්දිරා ගාන්ධි ඝාතනය වන අවස්ථාව නිරූපණය වන ප්‍රතිනිර්මාණයක් ද රථයක නංවාගෙන වීදි සංචාරය කළා. ඉන්දිරා ගාන්ධි 1984 දී ඝාතනය වූයේ ඇගේ සික් ජාතික ආරක්ෂකයින් දෙදෙනකු අතින්.