hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:02



බොලීවියාවේ හිටපු ජනාධිපති ඊවෝ මොරාලෙස් 2025 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කළා.

සිය X (කලින් ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ තම ආධාරකරුවන්ගේ ඉල්ලීමට කන් දෙමින් තමන් තරග කරන බව සහ තම උපරිම ශක්තිය යොදා තමන්ට එරෙහි ව්‍යාපාරවලට පිළිතුරු දෙන බවයි.

2006 දී මුල් වරට ජනාධිපති ලෙස තේරී පත්වූ මොරාලෙස් ලතින් ඇමරිකානු කලාපයේ ප්‍රබල වාමාංශික නායකයකු ලෙස කැපී පෙනුණා. 2019 දී ඔහුට එරෙහිව මතුවූ උද්ඝෝෂණ අතරවාරයේ ඔහුට බලයෙන් ඉවත් වීමට සිදුවූ අතර මොරාලෙස් එය ඇමරිකානු අනුග්‍රහයෙන් කෙරුණ කුමන්ත්‍රණයක් බවට චෝදනා කළා.

2020 ජනාධිපතිවරණය සඳහා ඔහුට තරග කිරීමට එවකට බලයේ සිටි අන්තර්වාර ජනාධිපතිණි ජීනීන් අන්යේස්ගේ පාලනය යටතේ අවකාශ ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මොරාලෙස්ගේ පක්ෂය වූ සමාජවාදය සඳහා ව්‍යාපාරයේ අපේක්ෂක ලුයී අර්සෙ එම ජනාධිපතිවරණය ජයගත්තා. පසු කාලීනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ වරදට අන්යේස් වසර දහයකට සිරගත කරනු ලැබුණා.

මෑතකාලීනව මොරාලේස් සහ අර්සෙ අතර දූෂණය සහ සංවර්ධන කටයුතු අරභයා මතගැටුම් ඇතිව තිබෙනවා. මොරාලෙස්ට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න අධිකරණය විසින් තීරණය කළ යුතු බව අර්සෙ ප්‍රකාශ කර තිබුණා. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළහොත් එය මොරාලෙස්ගේ සිව්වන ධුර කාලය වනු ඇති.