hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 26, ප.ව. 12:16



ලබන වසරේදී යුක්‍රේනය සාම කතා සඳහා පොළඹවාගැනීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් උත්සාහ කරනු ඇතැයි සැකයක් මතුවන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා.

සටන් පෙරමුණේදී යුක්‍රේනය බලාපොරොත්තු වූ සාර්ථකත්වය වාර්තා නොවීමත් ඇමරිකානුවන් දිගින් දිගටම යුක්‍රේනයට ආධාර කිරීම පිළිබඳ එරට තුළ නැග එන විරෝධයත් හමුවේ බයිඩන් මෙම පියවරට යොමුවනු ඇතැයි ඇතැම් යුරෝපීය බලධාරීන් සැක කරන බවයි එම වෙබ් අඩවිය පවසන්නේ.

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන වසරේ නොවැම්බරයේදී පැවැත්වෙන අතර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා තෝරාගැනීමේ විවාද මේ වනවිට ද ක්‍රියාත්මකයි. මෙහිදී රිපබ්ලිකන් අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම යුක්‍රේනයට විශාල වශයෙන් යුධ ආධාර ලබාදීම ප්‍රශ්ක කර සිටිනු දකින්නට ලැබුණා. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂය තුළ මේ පිළිබඳ විරෝධය නැග එමින් ඇති බව ද පෙනෙන්නට තිබෙනවා.

2022 පෙබරවාරියේ සිට මේ වනවිට ඇමරිකාව යුක්‍රේනයට ලබා දී ඇති යුධ ආයුධවල වටිනාකම ඩොලර් බිලියන 43 ක් පමණ වේ යයි ඇස්තමේන්තු කෙරෙනවා. මේ අතර බයිඩන් ඩොලර් බිලියන 40 ක හදිසි වැය ශීර්ෂයක් සම්මත කරන ලෙස කොන්ග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර ඉන් අඩක් යුක්‍රේනය සඳහා වන බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳ රිපබ්ලිකන් පක්ෂය තුළ සැලකියයුතු විරෝධයක් මතුව තිබෙන බවත් වාර්තා වනවා.