hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 7:49



ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර උපකාරක පන්ති පවත්වන මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිසුවියන් බව පොලිසිය සහ සාක්ෂිකරුවන් පැවසූ බවයි.

කාබුල් නගරයට බටහිරින් පිහිටි දාෂ්ත්-ඒ-බාචි ප්‍රදේශයේ කාජ් අධ්‍යාපන මධ්‍යස්ථානයට එල්ල වී ඇති එම බෝම්බ ප්‍රහාරයෙන් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

බෝම්බ ප්‍රහාරය එල්ල වන විට සිසුන් විශ්වවිද්‍යාල ප්‍රායෝගික විභාගයකට පෙනී සිට ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අයි.එස්. සටන්කාමීන්ගේ හිරිහැරවලට ලක් වන සුළු ජාතික හසාරා නමැති ජන කණ්ඩායමකට අයත් එලෙස ප්‍රහාරයට ලක් වී තිබෙනවා.

ඇසින් දුටු සාක්ෂිකරුවන් බී.බී.සී. වෙත ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනෙකු ගැහැණු ළමයින් බවයි.

එමෙන් ම, ප්‍රහාරය සිදුවන විට පන්ති කාමරයේ 600ක් පමණ සිටි බව තුවාල ලැබූ සිසුවෙක් ඒ.ෆ්.පී. වෙත ප්‍රකාශ කර තිබෙනවා.

කාජ් යනු, ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයේ ම ළමුන් සහභාගි වන පෞද්ගලික උපකාරක පන්ති පවත්වන මධ්‍යස්ථානක්.