hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2024 අප්‍රේල් 28, ප.ව. 1:23



ගාසා තීරය වෙත බ්‍රිතාන්‍ය හමුදා යෙදවීම පිළිබඳ එරට ආරක්ෂක අමාත්‍යංශය සලකා බලමින් සිටින බව බීබීසී පුවත් සේවය ඊයේ වාර්තා කළා.

අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වන බීබීසී පුවත් සේවය කියා සිටියේ ගාසා තීරයට මානුශීය ආධාර බෙදාහැරීම සඳහා ඇමරිකානුවන්ට සහය වීම එහි අපේක්ෂාවයි. ඒ අනුව එම ආධාර ගෙනයන ට්‍රක් රථ පැදවීමට බ්‍රිතාන්‍ය සෙබළුන් යෙදවීමට යෝජනා වී තිබෙනවා.

ඇමරිකාව විසින් සයිප්‍රසයෙහි සිට ගෙනෙනු ලබන ආධාර බෙදාහැරීම සඳහා කෘත්‍රිම ජැටියක් ඉදිකරන බව මීට පෙර ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණා. විශාල නැව්වලින් ගෙනෙන ආධාර මෙසේ ට්‍රක් රථ මගින් ගාසා තීරය වෙත ගෙනෙනු ලැබීමට නියමිතයි. කෙසේ වෙතත් ඇමරිකානු සෙබළුන් ගාසා තීරයට ගොඩබැසීමේ අදහසක් නොමැති බවත් සඳහන් කරනු ලැබුණා. මෙම ආධාර බෙදාදීමේ මෙහෙයුම වෙනත් රටක් විසින් සිදුකරනු ඇති බවයි බයිඩන් සඳහන් කර තිබුණේ.

බ්‍රිතාන්‍ය ආරංචිමාර්ග පවසන්නේ මෙම මෙහෙයුම සඳහා එරට මැදිහත්වීම පිළිබඳ අවසන් තීරණයක් තවම ගෙන නොමැති බවයි.