hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 8:30



බුර්කිනා ෆාසෝ රාජ්‍යය සිය අගනුවර ඔවාගඩොඋගු හි ප්‍රධාන වීදියක නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව හිටපු ප්‍රංශ ජනාධිපති චාර්ල් ඩි ගෝල්ගේ නම ඉවත් කර​, එම වීදිය හිටපු බුර්කිනාබේ නායක තෝමස් සන්කාරාගේ නමින් නම් කර තිබෙනවා.

බුර්කිනා ෆාසෝ කලක් ප්‍රංශ යටත් විජිතයක් වූ අතර එරට නිදහස ලබාගත්තේ 1960 දී. දෙවන ලෝක යුධ සමයේ නිදහස් ප්‍රංශයට නායකත්වය දුන් ඩි ගෝල් යුද්ධයෙන් පසු කෙටි කලක් එරට අගමැති ලෙස කටයුතු කළ අතර 1958 සිට දශකයකට මඳක් වැඩි කලක් එරට ජනාධිපති ලෙස කටයුතු කළා.

චාර්ල්ස් ඩි ගෝල්ගේ නමින් නම් කරන ලදුව තිබූ වීදිය තෝමස් සන්කාරාගේ නමින් නම් කරන ලද්දේ ඔක්තෝබර් 15 වනදායි. එදින සන්කාරාගේ ඝාතනයේ 36 වන සමරුව යෙදී තිබුණා. අධිරාජ්‍ය විරෝධී හමුදා නායකයකු වූ සන්කාරා 1983 සිට බුර්කිනා ෆාසෝව පාලනය කළ අතර 1987 දී සිදුවූ කුමන්ත්‍රණයක් අවස්ථාවේ ඝාතනය කෙරුණා.