hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 3:10



අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ පියවරක් ලෙස වයස අවුරුදු 18-25 අතර තරුණ තරුණයින්ට ඉදිරියේදී ඖෂධ හල්වලින් නොමිලේ උපත් පාලන කොපු ලබා ගත හැකිවනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

බටහිර ප්‍රංශයේ තරුණයින් සමග සෞඛ්‍ය පිලිබඳ පැවති විවාදයක් අතරතුර, “එය ගැබ්ගැනීම වැළැක්වීම සඳහා කරන කුඩා විප්ලවයක්,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වියදම් දරාගත නොහැකි වීම හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු තරුණියන්ට උපත් පාලනය කිරීමෙන් වැළකී නොසිටින්නැයි දියත් කළ වැඩසටහනක දිගුවක් ලෙස ප්‍රංශ රජය වයස අවුරුදු 25ට අඩු සියලු තරුණියන්ට නොමිලේ උපත් පාලන ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.

ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට එරෙහිව සටන් කිරීමට ගත් පියවරක් ලෙස වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින් නිර්දේශ කරනු ලැබුවහොත් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් කොන්ඩම් සඳහා යන වියදම් දැනටමත් නැවත ලබා දීම සිදු කරන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සමස්තයක් ලෙස ලිංගික අධ්‍යාපනය ගැන ගත් කල, “මේ විෂය ගැන අපිට හොඳ අවබෝධයක් නැහැ. න්‍යායාත්මක කරුණුවලට වඩා යථාර්තය බොහෝ වෙනස්. අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු විෂයයක් මේක,” ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.