hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 19, ප.ව. 1:53



බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ හමුදා ප්‍රධානීන්ගේ රැස්වීම ඊයේ ඝානාවේදී නිමාව දුටුවා. මෙම රැස්වීමේදී නිජර් ගැටළුව නිරාකරණය කරගැනීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දිගටම දැරීමටත් එය අසාර්ථක වුවහොත් හමුදාමය ක්‍රියාදාමයකට යොමුවීමටත් තීරණය කරගත් බව වාර්තා වනවා.

මේ අනුව හමුදාමය පියවර සඳහා අවශ්‍ය බල සෙනග ඒකරාශී කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට තීරණය කෙරුණ බවයි සඳහන් වූයේ.

කෙසේ වෙතත් හමුදා ප්‍රධානීන් විසින් මේ සඳහා එකඟ වූ අවසාන දිනය කවරක්දැයි අනාවරණය කරනු ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් නියෝග ලැබුණ සැනින් තම හමුදා නිජර් වෙත මිලිටරි මැදිහත්වීමක් කිරීමට සූදානම් බවයි බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ දේශපාලනික කටයුතු, සාමය සහ ආරක්ෂාව පිළිබඳ කොමසාරිස් අබ්දෙල්-ෆටු මුසා සඳහන් කළා.

නිජර් හි බලයෙන් පහ කළ ජනාධිපති මොහොමඩ් බසූම් යළි ධුරයෙහි පිහිටුවන ලෙස බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව එරට හමුදා පාලකයන් වෙතින් ඉල්ලා සිටිනවා. එසේ නොමැති නම් හමුදාමය ක්‍රියාදාමයක් වුවද ගැනීමට තමන් සූදානම් බවයි එම ප්‍රජාව කියා සිටින්නේ.