hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 05, පෙ.ව. 11:20



අගෝස්තු 6 වන ඉරිදා වනවිට හිටපු ජනාධිපති මොහොමඩ් බසූම් ජනාධිපති තනතුරෙහි ප්‍රතිස්ථාපනය නොකළහොත් නයිජර් හමුදා පාලනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට වුවද තමන් ක්‍රියාකළ හැකි යයි බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ (Economic Community of WesT African States – ECOWAS) රටවල් පසුගියදා අනතුරු ඇඟවූවා.

කෙසේ වෙතත් බලය අත් හැරීමට නයිජර් යුධ හමුදාව සූදානම් බවක් නොපෙන්වන හෙයින් බටහිර අප්‍රිකානු රටවල් හමුදා මැදිහත්වීමක් සිදු කරන්නේද යන කුතුහලය මේ වනවිට මතුව තිබෙනවා.

එම ප්‍රජාවේ නිලධාරීන් සිය ඉදිරි පියවර පිළිබඳ පසුගියදා දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ECOWAS සංවිධානයේ දේශපාලන කටයුතු කොමසාරිස් අබ්දුල්-ෆටු මුසා ඊයේ කියා සිටියේ මේ පිළිබඳ අවසන් තීරණය රාජ්‍ය නායකයින් විසින් ගනු ඇති බවයි.

නයිජර් රාජ්‍යයට එරෙහිව හමුදා මැදිහත්වීමක් කරන්නේ නම් එය තමන්ට එරෙහිව කළ යුධ ප්‍රකාශයක් ලෙස සලකන බවට මීට පෙර මාලි හා බුර්කිනා ෆාසෝ නායකයින් සඳහන් කර තිබුණා. මේ අනුව හමුදාමය මැදිහත්වීමක් කලාපීය යුද්ධයක් කරා ගමන් කළ හැකි යයි ද බියක් මතුව තිබෙනවා.

බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව රටවල් 15 කින් සමන්විත සංවිධානයක් වන අතර නයිජර්, මාලි, බුර්කිනා ෆාසෝ හා ගිනියාව යන රාජ්‍යයන් හි සාමාජිකත්වය මේ වනවිට අත්හිටුවා ඇත්තේ ඒවා හමුදා පාලනයන් යටතේ පැවතීම හේතුවෙන්. එහෙයින්, එම රටවල් හතර හැර මෙම සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 11 ක් වනවා. ජනගහනය​, ආර්ථිකය හා යුධ ශක්තිය යන අංශයන් සැලකීමේදී එහි විශාලම හා වැදගත්ම සාමාජිකයා නයිජීරියාවයි.