hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 7:49



ස්වකීය ආරක්ෂාවට අවශ්‍ය තරම් අවි තබාගන්නේ නම් යුක්‍රේනයට ලබාදීම සඳහා තවත් අවි යුරෝපා රටවල නොමැති බව යුරෝපීය නිලධාරියකු උපුටා දක්වමින් පොලිටිකෝ වෙබ් අඩවිය පවසනවා.

මෙම වාර්තාව පළ වූයේ යුක්‍රේනයට ලැබෙන මූල්‍ය සහ යුධ ආධාර පිළිබඳ ගැටළු නැගෙන පසුබිමක වීම යුක්‍රේනය මුහුණ දෙන අර්බුදයේ ස්වභාවය පෙන්නුම් කරන්නක් වනවා.

අදාළ නිලධාරියා පවසා ඇත්තේ යුරෝපා රටවල ආරක්ෂාව අනතුරේ දමා නොගනිමින් යුක්‍රේනයට ලබාදිය හැකි අවි ප්‍රමාණය ලබා දී ඇති බවයි. දේශපාලනික වශයෙන් තමන් යුක්‍රේනයට දිගටම උපරිම සහය ලබාදෙන නමුත්, යුධමය ආධාර ලබාදීමේ අපහසුතාවයක් මතුව ඇති බව එම නිලධාරියා පෙන්වා දී තිබෙනවා.

නොබෝදා ස්ලොවේකියාවේ මහමැතිවරණයෙන් රුසියානු පාක්ෂික රොබර්ට් ෆිට්සෝ ජයගැනීම​, පෝලන්තය යුක්‍රේනයට අවි ලබාදීම නැවැත්වීම​, ඇමරිකානු ආධාර ඇණහිටීම යන කරුණු හේතුවෙන් යුක්‍රේනය මේ වනවිට සැලකියයුතු ගැටළුවකට මුහුණ දී සිටිනවා.

මේ අතර යුක්‍රේනය ලබන වසරේදී ඩොලර් බිලියන 42.8 ක ආධාර විදේශ පාර්ශවයන් වෙතින් බලාපොරොත්තු වන බව එරට අයවැය සැලසුම් පෙන්වා දෙනවා. එහෙත් පවතින තත්ත්වය යටතේ එය ඉටු කිරීමට මිත්‍ර රටවල් සමත්වේද යන්න ගැටළුවක්.