hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මැයි 22, ප.ව. 12:54



නූතන ලෝකයේ ආරක්ෂාවට සහ සමෘද්ධියට චීනය විශාල අභියෝගයක් බව බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් ප්‍රකාශ කළේය. ජපානයේ හිරෝෂීමා නුවර පැවැත්වෙන G7 සමුළුවට එක්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඊයේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලොව ප්‍රබලතම රටවල එකතුවක් වන G7 සමුළුවෙන් චීනයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීමේදී එකමුතුව සහ අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතු බවයි.

කෙසේ වුවද G7 සමුළුව චීන විරෝධී සමුළුවක් ලෙස නොසැලකිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය සමඟ අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය සහ සත්කාරක ජපානය එක්ව කටයුතු කරන G7 සමුළුව වර්තමානයේ ගෝලීය වශයෙන් උද්ගත වී ඇති විවිධ අර්බුද හා ගැටලු නිරාකරණය කිරීමේ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක වන සමුළුවක් වන අතර, චීන අභියෝගවලට අමතරව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීම සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකයන්ගේ වැඩි සාකච්ඡාවට ලක්වෙමින් තිබෙනවා.

එසේ වුවද රිෂී සුනාක් පැහැදිලි කර ඇත්තේ චීනය ලෝකයට එල්ල කරන තර්ජන ගෝලීය ආරක්ෂාවට රුසියාවට වඩා ඉහළින් සිටින බවය. වසර 1945දී අමෙරිකාව විසින් හෙලනු ලැබූ පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වු හිරෝෂීමාවේදී අමෙරිකාව ඇතුළු රාජ්‍ය නායකයන් ගෝලීය ආරක්ෂාවට අවධානය යොමු කිරීම කැපී පෙනෙන සිදුවීමක්.

“G7 සහ අනෙකුත් රටවල් අපට අපිවම අවදානමෙන් ඉවත් කර ගැනීමට සහ අවදානමෙන් ඉවත් විය හැකි බවට වග බලා ගන්නා බැවින් අපි එකට වැඩ කරමු. චීනයේ සැපයුම් දාමයන්, සතුරු ආයෝජනවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගැනීමට සහ එකිනෙකාට හානි නොවන අයුරින් එය සිදු කිරීමට ද වගබලා ගත යුතුයි.‘ රිෂී සුනාක් එසේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන්නේ චීනයේ හැසිරීම අභ්‍යන්තර වශයෙන් ඉහළ බලාධිකාරියක් සහ විදේශීය වශයෙන් ස්ථාවරත්වයක් බවට පත්වී ඇති බවයි.

බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම මිත්‍ර පාක්ෂිකයන් සමඟ පෙළ ගැසී කටයුතු කරන බවත්, චීන ආර්ථිකය බලහත්කාරයෙන් සෙසු රටවල ස්වෛරී කටයුතුවලට මැදිහත්වීම වැළැක්වීමට පියවර ගැනීම සමුළුවේ වගකීම බව ද ඔහු සිහිපත් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය මෙන්ම සමුළුවට එක් වූ සෙසු රටවල රාජ්‍ය නායකයන් ද චීනය පිළිබඳ අප්‍රසාදයෙන් යුතුව අදහස් පළ කර ඇති අතර, මානව හිමිකම්, පාරිසරික හා සේවා කොන්දේසි සම්බන්ධ ප්‍රමිතිය ඉහළ නැංවීමෙන් චීනයේ ගැටුම් සහ අර්බුද මැඬ පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.