hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජූනි 10, පෙ.ව. 2:43



ඊශ්‍රායලයේ යුධ කැබිනෙට්ටුවේ සාමාජිකයකු වූ බෙනී ගාන්ට්ස් එයින් ඉවත් වී තිබෙනවා. ඔහු පවසන්නේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සැබෑ ජයග්‍රහණයක් සඳහා මග අවුරමින් සිටින බවයි. යුධ ජයග්‍රහණය සඳහා අවශ්‍ය තීරණ ගැනීම දේශපාලනික හේතු නිසාවෙන් කල් දැමෙන බව ඔහු චෝදනා කරනවා.

2023 ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් අනතුරුව ගාන්ට්ස් ආණ්ඩුවට සහය දීමට එක්වූ අතර ඔහුව යුධ කැබිනෙට්ටුව වෙත ඇතුලත් කරගනු ලැබුණා. ගාන්ට්ස් සඳහන් කළේ නෙතන්යාහුගේ ආණ්ඩුව අයහපත් ආණ්ඩුවක් බව තමන් දැන සිටියද එම අවස්ථාවේ ශක්තිමත්, එක්සත් ආණ්ඩුවක අවශ්‍යතාව හේතුවෙන් තමන් ඊට එක්වූ බවයි.

මේ අතර යුධ කැබිනෙට්ටු සාමාජික ගාඩි අයිසන්කෝට් ද සිය ධුරයෙන් ඉවත්ව තිබෙනවා.

ජූනි 8 වනදා වනවිට තමන් බලාපොරොත්තු වන වෙනස්කම් සිදු නොවන්නේ නම් තමා ආණ්ඩුවෙන් ඉවත්වන බව ගාන්ට්ස් කලින් පවසා තිබුණා. කෙසේ වෙතත් තමන් එම තීරණය ගත්තේ හදවතෙහි විශාල බරක් ද සමග බවයි ඔහු කියා සිටින්නේ.

ගාන්ට්ස් කියා සිටියේ ඊශ්‍රායලය බෙදීමෙන් වැළකී නෙතන්යාහු විසින් කඩිනම් මැතිවරණයක් කැඳවිය යුතු බවයි.

ගාන්ට්ස්ගේ ඉවත්වීම හේතුවෙන් ඊශ්‍රායල ආණ්ඩුව කඩා වැටෙන්නේ නැහැ. කෙසේ වෙතත් එම පියවර නෙතන්යාහු වෙත එල්ල වී ඇති පීඩනය තවත් වැඩි කිරීමට සමත්ව තිබෙනවා.