hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 10:54



හමාස් සංවිධානයට එරෙහිව කෙරෙන යුද්ධය නව මානයකට පැමිණ ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් සෙනසුරාදා ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ ගාසා තීරය වෙත එල්ල වූ ප්‍රබල ගොඩබිම් ප්‍රහාරයෙන් අනතුරුව එහි ඇතුල් වූ හමුදා දිගටම ප්‍රදේශයේ රැඳී සිටින බව වාර්තා වනවා. ඊශ්‍රායල සන්නද්ධ හමුදා අද සඳහන් කළේ ඔවුන් හමාස් උමං සහ බංකර් 150 ක් පමණ විනාශ කළ බවයි. තවද හමාස් ගුවන් ආරක්ෂක ප්‍රධානී ආසෙම් අබු රකාබා සහ නාවුක අණදෙන නිලධාරියකු වන රටෙබ් අබු සිබහාන් යන දෙදෙනා තම ප්‍රහාරවලින් මියගිය බව ද ඊශ්‍රායලය පැවසුවා.

යොආව් ගලාන්ට් සඳහන් කළේ ඊයේ එල්ල කළ ආකාරයේ ප්‍රහාර දිගටම ගාසා වෙත එල්ල වනු ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල හමුදා වෙත ප්‍රබල ප්‍රතිරෝධයක් දැක්වීමට තමන් සමත් වූ බව හමාස් සංවිධානය පැවසුවා. ඊශ්‍රායලයට සිය තුවාලකරුවන් රැගෙන යාම සඳහා හෙලිකොප්ටර් ද භාවිතා කිරීමට සිදුවූ බව ඔවුන් කියා සිටියා.