hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 19, පෙ.ව. 11:15



හැරී කුමරු, මේගන් කුමරිය සහ ඇගේ මව අමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අනතුරුදායක හඹා යෑමකට හසු වූ බව කුමරුගේ ප්‍රකාශකයකු පැවැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නිව්යෝක් නුවර පැවැති සම්මාන ප්‍රදාන උත්සවයකට සහභාගි වී ආපසු යමින් සිටියදී එය සිදු වී ඇති අතර, පැය දෙකකට ආසන්න කාලයක් පැපරාසි ඡායාරූප ශිල්පීන් මෝටර් රථ 6කින් හැරී යුවළ ගමන් ගත් මෝටර් රථය හඹා ගොස් ඇතැයි ද වාර්තා වෙනවා.

පැපරාසීන්ගෙන් බේරීමට හැරී යුවළ ගමන් ගත් මෝටර් රථයේ රියැදුරු අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, අනතුරකට ලක්වීමේ අවස්ථා කිහිපයකට ද මුහුණ දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

මාර්ග සංඥා නොතකමින් හැරී යුවල හඹා ගිය එම පැපරාසී මෝටර් රථ පදික වේදිකාව මතින් ද ධාවනය වී ඇති අතර, ඔවුන්ගෙන් බේරීමට යුවළ සමත් වී ඇත්තේ මැන් හැට්න් පොලිසිය වෙත යෑමෙන් පසුවය.

අනතුරුව ඔවුන් ආරක්ෂක නිලධාරියා සමඟ කුලි මෝටර් රථයකින් සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම කුලී රථය හඳුනාගත් පැපරාසි ඡායාරූප ශිල්පින් එම රථය ද හඹා ගොස් ඇති අතර, රාජකීය යුවළ දැඩි භීතියට පත්ව සිටි බව කුලී රථයේ රියැදුරු පසුව ප්‍රකාශ කර තිබෙනවා.