hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 7:30



බදාදා දහවල් කාලයේ ඉන්දියාවේ නව පාර්ලිමේන්තුවට කඩාවැදීම සිදුවුණු ආකාරය පිළිබඳ බොහෝ කරුණු මේ වනවිට විමර්ශනවලදී හෙළිවී ඇති බව ඉන්දීය සහ විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සිද්ධියට සම්බන්ධ පස්වැනි පුද්ගලයා සහ එම කඩාවැදීමේ මහමොළකරු යයි හැඳින්වෙන ලලිත් ජා පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුණා. බදාදා දිනයේදී ප්‍රහාරයට සම්බන්ධ වූ සිව් දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.

කොල්කටා හි ගුරුවරයකු බව කියන ජා, නිහඬ චරිතයක් බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු බටහිර බෙංගාලයේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමග කටයුතු කරන බවත් ඔහු සමාජ ක්‍රියාකාරිකයකු බවත් මාධ්‍ය වාර්තා කියා සිටියා.

බදාදා දිනයේ සාගර් ශර්මා සහ ඩී. මනෝරන්ජන් නම් පුද්ගලයන් දෙදෙනකු පාර්ලිමේන්තුවට කඩා වැදී දුම් කැනිස්ටරවලින් කහ පැහැති දුමාරයක් නිකුත් කිරීමට කටයුතු කළා. එමෙන්ම නීලම් දේවි සහ අමෝල් ශින්ඩේ නම් දෙදෙනකු පාර්ලිමේන්තුවට පිටත සිට එවැනිම විරෝධයක් දැක්වූවා. ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වීමට අවසරපත් ලබාගැනීමට නොහැකි වූ හෙයින් එසේ පිටත රැඳී සිටි බවයි වාර්තා වුණේ. මේ අතර ලලිත් ජා පාර්ලිමේන්තුව ඇතුලත සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා. මෙම පුද්ගලයන් වෙත නීතිවිරෝධී ක්‍රියා (වැළැක්වීමේ) පනත යටතේ ත්‍රස්තවාදී චෝදනා ගොනු කෙරෙන බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධකම් නිර්මාණය කරගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ සඳහා උපකාර වී ඇත්තේ Bhagat Singh Fan Club නම් සමාජ මාධ්‍ය පිටුවක්. මොවුන් මාස 18 කට පෙර කර්ණාටකයේ මයිසූරු හිදී මුණගැසී තිබෙනවා.

බීජේපී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතාප් සිම්හාගේ කාර්යාලය විසින් ලබාදුන් අමුත්තන්ගේ අවසර පත්‍ර මගින් පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ ගැලරියට පැමිණි ඉහත සඳහන් තිදෙනා සිය ක්‍රියාවන් සිදුකර තිබුණා. ඔවුන් දුම් කැනිස්ටර් රැගෙන විත් ඇත්තේ සපත්තුවල ඇතුලත සාරා ඒවායේ සඟවාගෙන බව ද සඳහන්. මේ පුද්ගලයන් මෙවැනි කාර්යයක් සිදුකරන අදහසින් පැමිණියේ යයි තමන් නොදැන සිටි බව ප්‍රතාප් සිම්හා සඳහන් කර තිබෙනවා.

මේ පුද්ගලයන් ගොවිජන විරෝධය​, මනිපූර් හි ගැටුම් සහ විරැකියාව යන කරුණු කෙරේ අප්‍රසාදයෙන් සිය ක්‍රියාව කර ඇතැයි පවසා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරීන් අටදෙනකු ද වැඩ තහනමට ලක්ව ඇතැයි වාර්තා වුණා.