hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 6:25



නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගැනීම සහ එය ලබාගැනීම සඳහා තමන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බව සැඟවීම සම්බන්ධව ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන්ට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් අධිචෝදනා භාර දී තිබෙනවා.

මෙම අධිචෝදනා පත්‍රයෙහි සඳහන් පරිදි 2018 ඔක්තෝබරයේදී හන්ටර් බයිඩන් මෙසේ ව්‍යාජ තොරතුරු දක්වා ඇත්තේ ගිනි අවියක් මිලදී ගැනීම සඳහා ලබාදිය යුතු ලිඛිත අයදුම්පතකයි.

එසේ ලබාගත් කොල්ට් කෝබ්‍රා 38SPL වර්ගයේ රිවෝල්වරය පසු අවස්ථාවකදී හැලී බයිඩන් විසින් ඩෙලවෙයාර් හි විල්මිංග්ටන් නගරයේ වෙළෙඳසලක් අසළ කසල බඳුනකට දමා තිබෙනවා. හැලී බයිඩන් යනු හන්ටර්ගේ වැඩිමල් සොයුරු බියු බයිඩන්ගේ බිරිඳ වූ අතර 2015 දී බියු මොළයේ පිළිකාවකින් මියගියා. ඉන් ස්වල්ප කලකට පසු හැලී, හන්ටර්ගේ පෙම්වතිය බවට පත්වුණා.

හැලී විසින් ඉවත ලූ රිවෝල්වරය ලබාගැනීමට ඇය නැවත පැමිණි අවස්ථාවේ එය කසල බඳුනෙහි තිබී නැහැ. කෙසේ වෙතත් මේ සම්පූර්ණ සිද්ධිය සැඟවීමට ඇමරිකානු ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ වගකියන ෆෙඩරල් ආයතනය වන​ ඇමරිකානු රහස්‍ය සේවය (US Secret Service) උත්සාහ කළ බවට ද චෝදනා මතු වනවා.

තමා 2018 සහ 2019 වසරවලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටියේ යයි හන්ටර් පසුව පිළිගත්තා. ඔහු විසින් අලුත්වැඩියාව සඳහා බාර දී ගොස් තිබූ ලැප්ටොප් පරිගණකයක තිබුණු වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ වීම නිසා 2020 දී හන්ටර්ගේ මත් ඇබ්බැහිය ප්‍රකට කරුණක් බවට පත්වුණා. එම වීඩියෝපටවල ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයුරු, ගිනි අවියක් අත තබාගෙන සිටින අයුරු සහ ගණිකාවන් සමග ලිංගික සම් බන් ධයන් පවත්වන අවස්ථාවල දර්ශන ද වුණා.

මෙම වීඩියෝපට රුසියානු ඔත්තුසේවාවල ප්‍රචාරණ කටයුත්තක් ලෙස එකල හඳුන්වනු ලැබුණා. ඊට හේතු වූයේ ඒ වනවිට ජෝ බයිඩන් ජනාධිපති ධුරය සඳහා තරග කරමින් සිටීමයි. රුසියාව ජනාධිපති ට්‍රම්ප්ට සහය දෙන බවයි චෝදනාව වූයේ. කෙසේ වෙතත් හන්ටර්ගේ ලැප්ටොප් පරිගණකයෙහි වූ කරුණු සැඟවීම පිළිබඳ පසුව විශාල කතාබහක් නිර්මාණය වුණා.