hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 05, පෙ.ව. 6:20



විරෝධතා පාගමනක් අතරතුරදී පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පකිස්තානයේ නැගෙනහිර වසිරාබාද් නගරයේදී පැවති අදාළ විරෝධතා පාගමන අතරතුර එල්ල කර ඇති වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පාදයට තුවාල සිදු වී ඇති බවයි.

එය “ඔහුව ඝාතනය කිරීමට ගත් උත්සහයක්” බව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහයකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

70 හැවිරිදි ඉම්රාන් ඛාන් අප්‍රේල් මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු ඉක්මන් මැතිවරණයක් ඉල්ලා එලෙස ඉස්ලාමාබාද් අගනුවරට විරෝධතා පාගමනක් මෙහෙයවා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා ලාහෝර් නුවර රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට උත්සහ කළ බවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සිදු කරන පාපොච්චාරණයක වීඩියෝවක් පොලිසිය විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “ඔහු (ඉම්රාන් ඛාන්) ජනතාව නොමග යවමින් සිටියේ මට ඔහුව මරා දැමීමට අවශ්‍ය වුණා. මං ඔහුව මරා දැමීමට උත්සහ කළා,” යනුවෙනුයි.

කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශය කිනම් තත්ත්වයක් යටතේ සැකකරුගෙන් ලබාගෙන ඇතිදැයි අපැහැදිලි බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.