hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 29, ප.ව. 2:01



ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත ගොඩනැගිලි ඉදිකිරීමේ හා පාරිසරික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ වරදට ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයට යාබද ‘නොයිඩා’ ප්‍රදේශයේ ඉදි කර ඇති උසැති නිවුන් කුලුනු දෙකක් අද (29) සවස පුපුරවා විනාශ කර දැමීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබෙනවා.

සුපර් ටෙක් නමැති පුද්ගලික ගොඩනැගිලි ඉදි කිරීම් සමාගම විසින් ‘ඇපෙක්ස්’ හා ‘සියේන්’ යනුවෙන් නම් කර ඇති මෙම අඩි 320කට (මීටර් 97 ක්) වඩා උසැති තට්ටු 30කින් සමන්විත වන නිවුන් කුලුනු දෙක ඉරිදා සවස ආරක්ෂිත අයුරින් කිලෝ ග්‍රෑම් 3700කට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් යොදවාගෙන පුපුරවා හැර තිබෙනවා.

රටවල් තුනකට අයත් ඉතා උසස් කුසලතා සහිත ඉංජිනේරුවරුන් පිරිසක් විසින් මෙම ගොඩනැගිලි කුලුනු දෙක පුපුරවා හැරීමට නියමිතව ඇති අතර මෙම පුපුරවා හැරීම සිදු කිරීමට පෙර එම ගොඩනැගිලි දෙක අවට පිහිටි නිවාස ගොඩනැගිලිවල වෙසෙන පුද්ගලයන් හා සුරතල් සතුන් අදාළ ගොඩනැගිලිවලින් තාවකාලිකව ඉවත් කිරීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබුණා.

මෙම පිපිරවීමේ කර්තව්‍යයේ බැරෑරුම්කම පිළිබඳව අදහස් දක්වා ඇති එම කාර්යයට එක් වන ඉංජිනේරුවරයෙකු පවසා ඇත්තේ මෙය ඉංජිනේරු ශිල්පයේ අලංකාරත්වය පෙන්නුම් කරනු ලබන අවස්ථාවක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: