hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 8:12



තම රටෙහි සේවය කරන තානාපති නිලධාරීන් 40 දෙනකු ඔක්තෝබර් 10 වනදා වනවිට ආපසු කැඳවාගන්නැයි ඉන්දියාව​, කැනඩාවට දන්වා ඇතැයි Financial Times පුවත්පත වාර්තා කළා.

අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත්පත කියා සිටින්නේ මෙම නිලධාරීන් ඔක්තෝබර් 10 වනදාටත් පසුව දිගටම ඉන්දියාවේ රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තානාපති මුක්තිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

කැනඩාවේදී ඝාතනය වූ කාලිස්ථාන බෙදුම්වාදියකු වූ හර්දීප් සිං නිජ්ජර්ගේ මරණයට ඉන්දියානු රජය සම්බන්ධ යයි සැකයක් තිබෙන බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ විසින් පසුගියදා ප්‍රකාශ කිරීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලකට හේතු වී තිබෙනවා.

කැනඩා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ විදේශ වෙළෙඳාම පිළිබඳ කමිටුවේ සභාපති පීටර් බොයෙම් Financial Times පුවත්පතට පවසා ඇත්තේ තවත් තානාපති නිලධාරීන් රටින් පිටමං කිරීම පවතින තත්ත්වය සමනය වීමට උපකාරයක් නොවන බවයි.

කැනඩාවට ඉන්දියාව සමග ගැටළුවේදී ප්‍රතික්‍රියා දැක්වීම අපහසු බව ඉන්දියාව හොඳාකාරවම දන්නේ යයි ද බොයෙම් කියා සිටියා. කැනඩාවේ පවතින්නේ සුළුතර ආණ්ඩුවක් බැවින් පවතින දේශපාලන තත්ත්වය හමුවේ ආණ්ඩුවට ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාව අවම වී ඇති බවයි ඔහු පවසා සිටියේ.

කැනඩාවේ ලිබරල් පක්ෂ සුළුතර ආණ්ඩුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිටත සිට සහය දක්වනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා සික් ජාතිකයකු වීම පවතින තත්ත්වය තවත් සංකීර්ණ කරනවා.