hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 7:04



ඉන්දියාවෙහි නිල නාමය වෙනස් කිරීමට එරට ආණ්ඩුව සැරසෙන්නේදැයි සැකයක් මතුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ G-20 සමුළුවට සමගාමීව ඉන්දියානු ජනාධිපතිනිය විසින් පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා යවන ලද ආරාධනාපත්‍රවල “ඉන්දියාවේ ජනාධිපති” වෙනුවට “භාරතයේ ජනාධිපති” ලෙස සඳහන්ව තිබීමයි.

මෙම සිද්ධිය අනාවරණය වූ විට ඉන්දියාවේ ඇතැම් විපක්ෂ දේශපාලකයින් මෙය හැඳින්වූයේ ඉන්දියාවේ ප්‍රාන්ත අතර එකමුතුවට පහර ගැසීමේ උත්සාහයක් ලෙසයි. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන වගන්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ යයි ද චෝදනා කරනු ලැබුණා.

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ “ඉන්දියාව​, එනම් භාරතය​, ප්‍රාන්තයන් හි එකමුතුවක් වන්නේ ය​” යනුවෙන්. ඒ අනුව භාරත් යන නම ද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන්. භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කරන්නේ ඉන්දියාව හෝ භාරතය හෝ යන නම් දෙකම භාවිතා කිරීමේ වරදක් නොවන බවයි. එමෙන්ම​ ඉන්දියාවේ ප්‍රධාන ස්වදේශීය භාෂා බොහොමයකින් ඉන්දියාව හඳුන්වන්නේ භාරත් යනුවෙන්.

මේ අතර භාරතීය ජනතා පක්ෂයේ ආධ්‍යාත්මික මූලය වන රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග්, භාරත යන නම වෙනුවෙන් කවදත් පෙනී සිටිනවා. ඔවුන් අවධාරණය කරන්නේ එය වසර දහස් ගණනක අතීතයක් ඇති නාමයක් බවයි.