hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 10, ප.ව. 4:39



ඉන්දියාවේ, උත්තරකාන්ද් පළාතේ, ජෝෂිමාත් නමැති කුඩා නගරය ගිලා බැසීමට පටන්ගෙන ඇති බවත් නගර වැසියන් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජෝෂිමාත් යනු වන්දනාකරුවන් අතරේ ජනප්‍රිය කුඩා නගරයක්.

උත්තරකාන්ද් බලධාරීන් උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය පවසා ඇත්තේ නගරයේ නිවාස 600 කට වැඩි ගණනක සහ ගොඩනැගිලිවල දහසකට ආසන්න ගණනක දරුණු ලෙස ඉරි තැලීම් දකින්න ලැබෙන බවයි.

නගරයට දිවෙන සියලු මාර්ග ඉරි තැලීම්වලට ලක් වී අබලන් තත්ත්වයේ පසුවෙයි.

ජෝෂිමාත් නගරය ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 1,899 ක් ඉහළින්. මෙම නගරය වඩාත් ප්‍රසිද්ධ හිමාල අඩවියට නන්දෙසින් පැමිණෙන හින්දු සහ ශීක් බැතිමතුන් අතරේයි.

නගරය ගිලා බැසීම ආරම්භ වී ඇතැයි සැලවුණු සැණින්, ඉන්දීය ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශසීමා ආරක්ෂක සෙබළුන් නගරයට යැවූ බව ඉන්දීය මධ්‍යම රජය පවසා තිබෙනවා.

ජෝෂිමාත් නගරයේ ජනගහනය 25,000 ක්. නිවාස සහ ගොඩනැගිලිවලින් ඉවත් කෙරුණු පිරිස ප්‍රජාශාලා, පාසල් සහ හෝටල්වල රැඳී සිටින බව වාර්තා වනවා.

ජෝෂිමාත් නගරය ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කිලෝ මීටර් 490 ක් දුරිනි. ඉන්දීය හමුදාවේ විශාල හමුදා කඳවුරක් ද ජෝෂිමාත් නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා.

ජෝෂිමාත් නගරය අයත් පළාත මායිම් වන්නේ චීන දේශසීමාවටයි. චීනය එම දේශසීමාවේ ඔවුන්ට අයත් ප්‍රදේශයේ ඉදිකිරීම් සහ කැණීම් සිදු කරයි. චීන ඉන්ජිනේරුවන් ජල විදුලි බලාගාරයක් ඉදි කරන බව ද පැවැසෙනවා.

මෙම ඉදි කිරීම් කටයුතු හේතුවෙන් තම නගරය ගිලා බැසීමට ලක් වී ඇති බවට ජෝෂිමාත් වැසියෝ චෝදනා කරනවා.