hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 17, පෙ.ව. 10:23



ටෙහෙරාන්හි ඒක්බතන් දිස්ත්‍රික්කයේ පදිංචි තරුණියින් පස් දෙනෙකු කාන්තා දිනයේ දී රෙමා නම් නයිජීරියානු රැප් ගායිකාවකගේ “කාම් ඩවුන්” ගීතයට ඉදිරිපත් කළ නර්තනය tik tok මාධ්‍යයෙන් අන්තර්ජාතිකව මෑතකදී වයිරල් වුණා.

ඔවුන් ලොවපුරා ජනප්‍රිය වුවද හිස් ආවරණ නොමැතිව නර්තනයේ යෙදුණු කාන්තාවන් දුටු හිරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පාපොච්චාරණය කරන ලෙසත් හිස් ආවරණ පළදින ලෙසටත් බලකර තිබෙනවා.

තවමත් ඔවුන් නිදහස් කිරීම ගැන කිසිවක් වාර්තා කර නැහැ.

පොලිසිය තරුණියන් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ද ප්‍රශ්න කර තිබෙනවා.

තරුණියන් මුලින්ම ටෙලිග්රෑම් සහ ට්විටර් මාධ්‍යවලට නර්තන වීඩියෝවක් නිකුත් කර තිබුණා.

ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවන්ට ප්‍රසිද්ධියේ නර්තනයේ යෙදීම තහනම්.

එලෙසම හිස් ආවරණ නොපලදා සිටීම ද දඩුවම් ලැබිය හැකි වරදක්.

පොලිසියෙන් නීතියෙන් ඔවුන්ට දඬුවම් ලැබුණ ද ලෝකෙන්ම ඔවුන්ට පැසසුම් ලැබී තිබෙනවා.

රෙමා ගායිකාව “වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් සටන් වදින සුන්දර කාන්තාවන් සියල්ල වෙනුවෙන්. ඔබලා මාව දිරිමත් කළා. මා ඔබලා වෙනුවෙන් ගයනවා. ඔබලා සමඟ සිහින දකිනවා.” යනුවෙන් ට්විටර් වෙබ් අඩවියේ ප්‍රතිචාර දක්වා තිබුණා.

රෙමාගේ come down ගීතය සුපිරි තාරකා සෙලීනා ගෝමස් සමග සංකලණය කළ පසු ගෝලීයව අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

යුරෝපියානු පාර්ලිමේන්තුවේ ජර්මානු සාමාජිකා හනානියුමාන් වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා. “කාන්තා දිනයේ දී මේ වීඩියෝ නිකුත් කිරීම වැඩකට ඇති පුවතක් නෙවෙයි. එහෙත් එය වටිනා පුවතක් වන්නේ ඔවුන් නර්තනයේ යෙදෙන්නේ ඉරානයේ බැවින්.”