hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 3:15



ඉරාකයේ හටගෙන ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් කෝපයට පත් දහස් සංඛ්‍යාත වූ ජනකායක් අද බැග්ඩෑඩ් නගරයේ පිහිටි ජනාධිපති මැදුරට කඩා වැදී තිබෙනවා.

බැග්ඩෑඩ් නගරයේ කොළ කලාපයේ පිහිටි රිපබ්ලිකන්, මාලිගය යනුවෙන් හැඳින්වෙන ජනපති මැදුරේ ආරක්ෂක වැට කඩොලු බිඳලමින් ජනපති මැදුරට කඩා වැදී ඇති විරෝධතාකරුවන් එහි ඇති පිහිනුම් තටාකයේ ස්නානය කරනවා.

විරෝධතාකරුවන් එරට රජයේ ගොඩනැගිලි අත්පත් කර ගනිමින් ආරක්ෂ අංශ සමග ගැටුම් ඇති කර වත්මන් පාලනයට විරෝධය පළ කරන අයුරු දක්නට ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙලෙස ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම සිද්ධියෙන් අනතුරුව ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්-කදිමි නැවත දැනුම් දෙනතුරු සියලු ම රැස්වීම් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන් ම ඉරාක ජනාධිපති බර්හාම් සාලිහ් මහ ජනතාවගෙන් සාමකාමී වන ලෙස ඉල්ලා ඇති අතර රට පසු කරමින් සිටින දුෂ්කර වාතාවරනයේ සෑම කෙනෙකු ම සන්සුන්ව, සංයමයෙන් කටයුතු කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, එරට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය සහ අනෙකුත් ස්ථාන අත්පත් කර ගෙන එහි නාන තටාකවල විනෝද වන විඩීයෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: