hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 21, ප.ව. 5:40



දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමාට එළඹෙන මැතිවරණය සඳහා තරග කිරීම එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ 2021 දී ඔහුට ලබාදුන් සිර දඬුවමක්. ඔහුගේ පාලන සමයේදී සිදුවූ බව කියන​ වංචා දූෂණ සම්බන්ධව සිදුකළ පරීක්ෂණයන් සඳහා ඔහු නොපැමිණීම හේතුවෙන් මෙම දඬුවම පනවනු ලැබුණා. ඔහු මාස දෙකකට පසු පොදු සමාවක් යටතේ නිදහස් කරනු ලැබුණ ද ඔහු නිදොස් කිරීමක් වූයේ නැහැ.

එරට මැතිවරණ කොමිසම විසින් මාස 12 ක් ඉක්මවූ සිර දඬුවමක් නියම වී තිබීම මත සූමාට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි යයි තීරණය කළ අතර සූමා දකුණු අප්‍රිකානු මැතිවරණ අධිකරණය වෙත මේ පිළිබඳ අභියාචනා කළා. එය විසින් සූමාට මැතිවරණය සඳහා තරග කළ හැකි යයි නිගමනය කෙරුණා. එයට එරෙහිව මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත අභියාචනා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය ලැබී ඇත්තේ.

මෙම තීන් දුව අනුව සූමාට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකියි. ඔහුගේ උම්කොන්තෝ වේ සිස්වේ පක්ෂය (MK Party) ඒ පිළිබඳ සිය විරෝධය ප්‍රකාශ කරනවා.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයෙහි සාමාජිකයකු වූ ජේකබ් සූමා 2009 සිට 2017 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය දැරුවා. කෙසේ වෙතත් දූෂණ චෝදනා මත ඔහුට ඉල්ලා අස්වීමට සිදුවුණා. සූමා මෑතකදී උම්කොන්තෝ වේ සිස්වේ පක්ෂය (MK Party) හා එක්වුණා. එම පක්ෂය සිය නම ලබාගෙන ඇත්තේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයෙහි සන්නද්ධ අංශයේ නමින්.

දකුණු අප්‍රිකාවේ මහමැතිවරණය මැයි 29 වනදා පැවැත්වෙනවා. වර්ණභේදවාදයේ නිමාවෙන් පසු පළමු වරට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමේ ඉඩක් මෙවර මතුවී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: