hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 12:52



බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත දිල්ලි පටියාලා හවුස් අධිකරණයේදී අතුරු ඇප නියම කර තිබෙනවා.

ඉන්දීය රුපියල් බිලියන 02 ක මුදල් සම්බන්ධ නඩුවකට අදාළව විත්තිකාරියක් ලෙස ඇය අධිකරණයේ පෙනී සිට ඇත්තේ මුදල් විශුද්ධිකරණයට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රශේඛර් නැමැත්තාට අදාළවයි. 

ඉන්දියාවේ නීතිය ක්‍රියාත්මක කරන රජයේ ආයතනයක් වන එන්ෆෝර්ස්මන්ට් ඩිරෙක්ටොරේට් විසින් ජැකලින්,  විත්තිකාරියක් ලෙස නම් කරමින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත අධිකරණයට පරිපූරක චෝදනා පත්‍රයක් ගොනු කර තිබුණා.

එම චෝදනා පත්‍රය සැලකිල්ලට ගත් අධිකරණය ජැකලින්ට සැප්තැම්බර් 26 වැනිදා පෙනී සිටින ලෙස දන්වා තිබුණා.

මෙම නඩුවේ ඇයගේ භූමිකාව සම්බන්ධයෙන් දිල්ලි පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා මීට පෙර දෙවරක් ජැකලින්ව කැඳවා තිබේ. සුකේෂ් චන්ද්‍රශේඛර්, තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහුගෙන් මිලියන ගණනක් වටිනා තෑගි ලබාගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය සතියේ, මෙම නඩුව සම්බන්ධයෙන් දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය විසින් ෆර්නැන්ඩස්ගේ මෝස්තර ශිල්පිනී ලීපාක්ෂි එල්ලාවාඩිගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

එම ප්‍රශ්න කිරීම්වලදී ලීපාක්ෂි එල්ලාවාඩි පිළිගෙන තිබුනේ, ජැකලින් සහ සුකේෂ් චන්ද්‍රශේඛර් අතර ඇති සම්බන්ධය ගැන තමා දන්නා බවයි. කෙසේ නමුත් සුකේෂ් චන්ද්‍රශේඛර් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත සැලවීමත් සමඟ ජැකලින්  ඔහු සමඟ තිබූ සියලු සබඳතා නැවතූ බවද ඇය පොලිසියට ප්‍රකාශ කළා.

දැනට මෙම නඩුවට අදාළව සිරගතව සිටින චන්ද්‍රශේඛර්, හිටපු Fortis Healthcare ප්‍රවර්ධකයෙකු වන Shivinder Mohan Singh ගේ බිරිඳ Aditi Singh වැනි ඉහළ පෙළේ පුද්ගලයන් ඇතුළු බොහෝ පුද්ගලයන්ට මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වෙනවා.